Thursday, February 19, 2015

ග‍්‍රීක මිත්‍යා කථා ඇසුරින් වර්ධනය වූ මැටි බඳුන් සිතුවම් කලාව


ග‍්‍රීක ශිෂ්ටාචාරයේ ඉතිහාසය
                          යුරෝපීය ශිෂ්ටාචාරයේ අත්විතීය මිනිසුන් කොටසක් වන ග‍්‍රීකයන්ගේ ඉතිහාසය සැබවින්ම වැදගත්ය. ග‍්‍රීක ශිෂ්ටාචාරයට එම නම යෙදී ඇත්තේ  ග‍්‍රීක භාෂාවෙන් පෝෂණය වූත් ග‍්‍රීකයන් විසින් දියුණු කරන ලද්දා වූත් එකක් නිසාවෙනි. එසේ වුවද එම ශිෂ්ටාචාරය ග‍්‍රීසියට පමණක් සීමා වූවක් නොවේ. එය මධ්‍යධරණි මුහුද වටා පිහිටි වෙරළබඩ ප‍්‍රදේශ විශාල ගණනකට ව්‍යාප්ත වෙයි.
                          ග‍්‍රීකයන්ගේ ඉතිහාසය පිළිබඳ සෙවීමේදී ක‍්‍රි:පූ 1400න් පසු අයොනියානු , ඇකිනියානු , ඩොරියානු වර්ගවලට අයත් ජනයා බෝල්කන් අර්ධද්වීපයටත් සුළු ආසියාවේ බටහිර වෙරළටත් මධ්‍ය ආසියාවෙන් ගලා ආ බව පෙනේ. එනමුදු ඔවුහු මුල් කාලය තුළදි මිලේච්ඡු ජන කොටසක් ලෙස වාසය කළහ.  එකල ක‍්‍රීටය අවට ¥පත්වලත් ඊජියන් මුහුද ආශ‍්‍රිතවත් පැතුරුණු මයිසීනියානු ශිෂ්ටාචාරය විනාශ කොට පදිංචි වූවෝ ග‍්‍රිකයෝය. මෙකල ග‍්‍රීකයන් ආගමික වශයෙන් බහු දේව වාදීන් වූහ. සීයුස් හෙවත් අහසට අධිපති දෙවියා සියළුම දෙවියන්ගේ පීතෘවරයා විය. හිරු දෙවියා ඇපලෝ යන නමින් හැඳින්විණි. ඇතීනා දෙව් දුව යුද්ධය හා හස්ත කර්මාන්ත සඳහා අධිපති වූවාය. කල් යාමේදී ග‍්‍රීක ජනයා තමන්ටම ආවේණික ශිෂ්ටාචාරයක් ගොඩනගගා ගත්හ. මෙම ශිෂ්ටාචාරය අපරදිග ශිෂ්ටාචාරයේ පදනම වශයෙන් සලකනු ලැබේ.
                          දේශපාලන වශයෙන් ග‍්‍රීකයන් අනෙකුත් සමකාලීන ශිෂ්ටාචාරවල  දේශපාලන සංස්ථාවලට වඩා වෙනස් වෙයි. පැරණි ශිෂ්ටාචාර බොහොමයක් බිහි වූයේ එක් දේශපාලන ඒකකයක් ඇසුරිනි. එනමුදු ග‍්‍රීක ශිෂ්ටාචාරය දේශපාලන ඒකක රාශියක් තුළ බිහි වූවකි. ග‍්‍රීක දේශපාලන ඒකක පෞර රාජ්‍ය නමින් හඳුන්්වන අතර ඒවා සියල්ලම නගර වටා බිහි වූ රාජ්‍යන්ය. ග‍්‍රීක ශිෂ්ටාචාරයේ පරිහානිය එළඹෙණ තුරුද ග‍්‍රීසිය දේශපාලන වශයෙන් ඒකාබද්ධතාවයක් ළඟා කර බවක් දක්නට නොලැබේ. ග‍්‍රීසියේ පුර රාජ්‍යවල ස්ත‍්‍රීන්ට, වහලූන්ට හා විදේශිකයන්ට පුරවැසිබව නොලැබුණි. මධ්‍යදරණි දේශගුණය එළිමහන් ජීවිතයට හිතකර එකක් වූ අතර ග‍්‍රීකයන් නා නාවිධ ගැටළු පිළිබඳ කථා කරමින් විවේක කාලය ගත කළහ. මේ හේතුවෙන්ම ඔවුන් ඉතා බුද්ධිමයත් පිරිසක් විය. එම නිසාම විවිධ දාර්ශනිකයන් බිහිවූ අතර  කලාව හා සාහිත්‍යය, දර්ශණය පමණක් නොව විද්‍යාවද මේ නිසාම දියුණු විය. ග‍්‍රීකවරුන්ට මෙම නිදහස් ජීවිතය ගත කිරීමට ඉඩ ලැබුණේ වහල් ශ‍්‍රමය නිසාය. ග‍්‍රීක ශිෂ්ටාචාරය බොහෝ අංශ අතින් උසස් යැයි පෙනී ගියද එහි යම් යම් පහත් අංගද විය. වහල් සේවය ග‍්‍රීසියේ පැවති පහත් අංගයක් විය. එසේම ඔවුන්ගේ පහත් ගුණාංග ශාන්ත ඇම්බ්‍රෝස්ගේ බ‍්‍රාහ්මණ වෘතාන්තයෙන් පෙනේ. ඉන්දියාව ආක‍්‍රමණය කළ මහා ඇලෙක්සැන්ඩ‍්‍රර් හා භාරතයේ ඩැන්ඩමීස් අතර වූ සංවාදයේදී ග‍්‍රීකයන් කාමසුකල්ලිකානුයෝගී නිසරු ජීවිත ගත කළ අය බව ඩැන්ඩමීස් පවසා ඇත. මත්පැන් පානය, නොවැදගත් භෝජන සංග‍්‍රහ හා සත්ව ක‍්‍රීඩා ග‍්‍රීක ලෝකයේ අශිෂ්ට ලක්ෂණ බව පෙනී යයි. එහෙත් ග‍්‍රීක ශිෂ්ටාචාරය පෙෙදුවේ සලකා බැලූ විට එය දේශපාලනික , දාර්ශණික අදහස් රැුසක්, ශ්‍රේෂ්ට ලිඛ්ිත සාහිත්‍යයක්, නව කලා සම්ප‍්‍රදායක් හා නව ජීවන ක‍්‍රමයක් ලොවට කියා පෑ ශිෂ්ටාචාරයක් ලෙස අර්ථ දැක්විය හැකිය.
ග‍්‍රීක කලාව
                          ග‍්‍රීකයන්ගේ කලාවන්  අතර ගෘහ නිර්මාණ ශිල්පය, ප‍්‍රතිමා කලාව, සිතුවමි කලාව, කැටයම් කලාව, අතිශයින් දියුණු මට්ටමක පැවතුණි. ඔවුන් එදිනෙදා ජීවිතයේ සැම අංගයකටම කලාවේ සෞන්දර්ය හා සමමිතිය යොදා ගත්හ. එය බොහෝවිට දාර්ශනික පදනමකින් සිදු විය.
                         ලෝහ වර්ගවලින් ප‍්‍රතිමා තැනීම ග‍්‍රීකයන් විසින් ආරම්භ කළේ මීට වසර හාරදහස් පන්සියයකට පමණ පෙරය. ඉන් පසුව කිරිගරුඩ ප‍්‍රතිමා තැනීම ආරම්භ කළ අතර එහි හිණි පෙත්තටම නැගීමට ඔවුන් සමත් විය. ඔවුන්ගේ ප‍්‍රතිමා කලාවය මිසරයෙන් ආභාසය ලැබූ බව නොරහසකි. එහෙත් පසු කාලීනව ඔවුන්ටම ආවේණික වූ සුන්දර මූර්ති සම්ප‍්‍රදායක් ගොඩනගා ගත්හ. ක‍්‍රීඩකයන්ගේ දුවන පනින රූප මෙන්ම නග්න සුන්දරියන්ගේ ප‍්‍රතිරූප නෙළීමේ  විශේෂඥයන් වූයේ ග‍්‍රීකයන්ය. මිනිස් සිරුරේ නග්නනත්වයේ සුන්දරත්වය විනිවිද දුටු ඔවුන් එයින්  මානුෂවාදය මොනවට පිළිබිඹු කරයි. ශරීරයේ කායව්‍යච්ෙඡ්දනමය සවිස්තර (්බ්එදපසජක ාැඒසකි* මැනවින් දක්වා තම ප‍්‍රතිමා නිර්මාණය කිරිම නිසාම ඔවුන්ගේ ප‍්‍රතිමා කලාව අද්විතීය ස්ථානයක් ගත්තේය.
                        ග‍්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය දෙස නෙත් යොමු කිරීමේදී ග‍්‍රීක වාසස්ථාන කුඩා ගොඩනැගිලි විය. ඒවා චාම් අයුරින් නිර්මාණය විය. ඔවුන් තැනු දේවස්ථාන තුළින් ගෘහ නිර්මාණ ශිල්පයේ අති දක්ෂයන් බව පෙන්නුම් කළහ. පාතිනොන් දෙව් මැදුර මේ සඳහා විශිෂ්ට උදාහරණයකි. එසේම ඇම්පිතියටර් නම් එළිමහන් නෘත්‍ය ශාලාද ඔවුන්ගේ නිර්මාණ විය.
                      ක‍්‍රි:පු 5 වැනි ශතවර්ශය පමණ වන විට ලෝකයේ මේවන තුරු කිසි කලෙක ඇති නොවූ කැටයම් කරුවෝ ග‍්‍රීසියේ සිටියහ. ඔවුන් කැටයම් කලාව ජාතික වූද ආගමික වූද උසස් දෙයක් වශයෙන් සළකන්නට විය.
                      ග‍්‍රීකයන්ගේ උසස් නිර්මාණ ශක්තිය ලොවට කියා පාන කලා කෘති රැුසකි. උතුරු ග‍්‍රීසියේ ඔලිමිපස්හි ‘‘සියුස්’’ දේව මැදුර ඉදිරිපිට කිරිගරුඩින් නෙලා ඇති ප‍්‍රතිමාද, තරුණයා, පරවියන් අතින් ගත් දැරිය, කවපෙත්ත විසි කරන්නා,හර්මිස් හා ඩයෝනිස්, ඇපලෝ නම් දෙවියා, වීනස් දි මේලෝ, ඇතීනා දෙවඟන නම් මූර්තියද ෙමිවා අතර වෙයි. මෙම යුගයේ කලා කරුවන් අතර පීඩියාස්, ප‍්‍රැක්සිටිලස්, පොලික්ලීටස්, ලීසිපස්, මයිරන් ආදීන් විසින් මෙම කලා කටයුතුවල නිරත වුවා යැයි සිතිය හැකිය

ග‍්‍රීක කලාවේ වර්ධනයට බලපෑ මිත්‍යා කථා
                        අපරදිග කලාව පෝෂණය වී ඇත්තේ ග‍්‍රීක රෝම මිථ්‍යා කථා සහ ශුද්ධ වූ බයිබලයෙන් ලබා ගත් තේමාවලින්ය. ලෝකයේ නිර්මාණය පිළිබඳව කථාවලට බෙහෙවින් ඇතුළත් වූයේ දේව ගණයාගේ මූලරම්භය පිළිබඳ කථාය. ක‍්‍රි:ව 8 වන සියවසේ හෙසියොඞ් විසින් මෙම කථා ලියවුනි. ග‍්‍රික ශෝකාත්මකක නාට්‍ය කරුවන් මහා කවි හෝමර්ට ණය ගැතිය. ග‍්‍රීක මැටි බඳුන්වල එහි පුරාවෘත්තය මුළුමනින්ම සිත්තම්ව තිබෙන්නට ඇත. කාලීන සිදුවීම්ද එදිනෙදා ජන ජීවිතයේ සිද්ධීන්ද එ් අතර සිතුවම් නොවුනා නොවේ. මෙම කලාවෙහි නියම තෘප්්තිය විඳීමට නම්  ග‍්‍රීක මිත්‍යා කථාව පිළිබඳ මඳ වශයෙන් හෝ දැනුමක් තිබීම අවශ්‍ය වේ.                      මෙහිදී කලාකරුවන් අතර ජනප‍්‍රිය වූ  ග‍්‍රීක   පුරාවෘත්ත කිහිපයක් සිතුවම් කළ මැටි බඳුන් ප‍්‍රමුඛ කලා නිර්මාණ ආශ‍්‍රයෙන් පෙන්වා දිය හැකිය.
ඇකිලීස්ගේ  පුරාවෘත්තය
                      මෙම ග‍්‍රීක මිත්‍යා කථාව  හෝමර්ගේ ඉලියඞ් කාව්‍යයේ ප‍්‍රධාන චරිතය වන ඇකිලිස් සමුද්‍ර දෙවඟනක වන තේටිස්ගේ පුත‍්‍රයා පිළිබඳවය. ඔහුගේ පියා පීලියස්ය. සිය පුත‍්‍රයාගේ දෛවය පිළිබඳව කල් තියා දැන ගත් තේටීස් ඔහු අමරණිය කරනු පිණිස පතුළෙන් අල්ලා ස්ටයික්ස් ගංගාවේ එබුවාය. ප‍්‍රවාදයට අනුව ස්ටයික්ස් යනු පොළව යට පිහිටියේ යැයි කියනු ලබන මළවුන්ගේ ලොකය වෙත යාම සඳහා තරණය කළ යුතු ගංගාවයි. එහි ශීර්ෂ තුනක් සහිත සුනඛයෙකු සිටී. මෙම ක‍්‍රියාව නිසා ඔහුගේ ශරීරයට කිසිඳු උපද්‍රවයක් කළ නොහැකි වුවද පතුල් අනාරක්ෂිතය. ළදරුවා උඩු යටිකුරු කොට ගංගාවේ ගිල්වන අයුරු,පසුපසින් දිස්වන මළවුන්ගේ අවතාර,  ද සෙර්බෙරස් නම් වූ ඔලූ තුනේ සුනඛයාද ස්ටයික්ස් ගංගාවෙන් මළවුන් එගොඩ කරන තොටියාද ග‍්‍රීක මැටි බඳුන්වලින් නිරූපණය කොට ඇත.
                    ඇකිලීස්ට ශිල්ප ශාස්ත‍්‍ර ඉගැන්වීමට තේටීස් විසින් ඔහු භාර කරන ලද්දේ කිරෝන් නැමති නරාශ්වයාටය.තේටීස් විසින් ළදරු ඇකිලීස් ඔහුට භාර දෙන ආකාරය, ඔහු ලයර් නම් වාදනය උගන්වන් ආකාරය, ඔවුන් දෙදෙනා එක්ව වාදනය කරන ආකාරය මැටි බඳුන් සිතුවමි කරුවන්ගේ සිතුවමට භාජනය විය. තම පුත‍්‍රයා ට්‍රෝජන් යුද්ධයට සම්බන්ධ වුවහොත් මිය යන බව දත් තේටීස් ඇකිලීස්ට කාන්තා සළු පිළි අන්දවා ස්කයිරෝස් දිවයිනේ ලයිකොමඞීස් රජුගේ දියණියන් අතුරෙහි වැඩෙන්නට හැරියේය. මේ බව දැනගත් සෙන්පතිවරු ඔහු හඳුනා ගැනීමට උපායක් ලෙස රජුගේ දියණියන් වෙත සළු පිළි හා ආභරණ යැව්වෝය. ඒ අතරට හෙළි පලිස් හා අසිපත් ද එක් කොට තිබූ අතර ත්‍යාග ලබා ගැනීමට සඥා කළ අවස්ථාවෙහි ඇකිලීස්ගේ අත නිරායාසයෙන්ම ආයුධ වෙත ඇදී ගියේය. ඇකිලීස් කාන්තාවන්ගේ වේශයෙන් සෙසු කාන්තාව්න් අතර සිටින ආකාරයත් ආයුධ අතර අත තබන ආකාරයත් සිත්තරුන්ට බෙහෙවින් පි‍්‍රය විය. හෙෆයිටස් හෙවත් වල්කන් විසින් තැනූ යුධ ඇඳුමක් ඇඳි ඇකිලීස් විසින් කේවල සටනකින් ප‍්‍රයාම් රජුගේ පුත්  හෙක්ටර් මරා දැමු බව ඉලියඞ් හි සඳහන්ය. සිය මිතුරෙකු හෙක්ටර් විසින් මරා දැමීම නිසා කුපිත වූ ඇකිලීස් හෙක්ටර්ගේ මළ සිරුර තම අශ්ව කරත්තයේ බැඳ ට්‍රෝයි නගර ප‍්‍රාකාරය වටා ඇදගෙන යන ආකාරයද සිත්තරුන්ට ප‍්‍රිය විය.ඇකිලීස් සතුව සිටී බිසීස් නම් වහල් කාන්තාව ග‍්‍රීක හමුදාවේ ප‍්‍රධානියා වූ ඇගමෙම්නොන් විසින් බලයෙන් අත්පත්කර ගැනීම හේතුවෙන් ඇය ඔහුගෙන් සමුගෙන පිටත්වන ආකාරය පෙන්නුම් කිරීමද සිත්තරු ඇළුම් කළ තේමාවකි. ක‍්‍රි:පූ 525-515ට අයත් ඇන්ඩොකිඞීස් සිතුවම් ශිල්පියාගේ ඇකිලීස් ඒජැක් සමඟ දාදු කී‍්‍රඩාවෙහි යෙදීමද පෙන්වන, දැනට මියුනිච්හි ජාතික කෞතුකාගාරයේ දක්නට ඇති ද්වී භාෂාමය ඇමිපෝරා බඳුනද, ක‍්‍රිඃපූ 470 ට අයත් ක්ලෙයොෆ්රඞීස් සිතුවම් ශිල්පියා සිතුවම් කළ ස්ටැම්නොස් බඳුනකින් තෙටිස් දෙවඟනගේ රුව යොදා ඇති බඳුනද උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. එම රූපයේ මුහුණේ ලක්ෂණ පෙන්වීමේදිද  කොණ්ඩයේ රැුළි සඳහාද කළු පැහැය ලබා දෙන මැටි ද්‍රාවණය යොදාගෙන මතුපිටට නෙරා සිටින සේ දක්වා ඇත.
                      ඇකිලීස් ට්‍රෝජන සටනේදි මිය ගිය බව කිය වේ. එහෙත් සිත්තරුන් වඩාත් ප‍්‍රිය කළේ ඔහු ඇපලෝ දෙවියන්ගේ අල්තාරය ඉදිරිපිට පූජා පවත්වමින් සිටියදී පැරිස් කුමරුගේ හී පහරින් මිය ගිය ආකාරය පෙන්වීමටයි. ට්‍රෝයි නුවර රජ වූ ප‍්‍රයාම්ගේ දියණියක වන පොලික්ස්සේනා ඇකිලීස්ට විවාහ කොට දෙන බවට පොරොන්දු වී ඇයගේ ඉල්ලීම පිට දෙවියන් යදිමින් සිටින අවස්ථාවේ ඇයගේ සොහොයුරු පැරිස් කුමරු ඇකිලීස්ගේ පතුළට හීයක් විදීන ලදැයි පවසන පුරානොක්තිය අනුව එසේ නිරූපණය කොට ඇත. මෙවැනි සිතුවම්වල හීය ගත් පැරිස් කුමරු හා ඔහු ඒ සඳහා යොමු කළ ඇපලෝද දක්නට ලැබේ. ක‍්‍රි:පූ 470 ට පමණ අයත් ඇටික් කළු රූප හයිඞ්‍්‍රයා බඳුනක හෙක්ටර්ගේ මළ සිරුර තම යුධ රථයේ බැඳගෙන පළිහද අතේ දරාගෙන නගරය වටා ගමන් කිරීමට සූදානමින් සිටින ඇකිලීස් දැක්වේ.රණ ශූරයෙකු වශයෙන් ග‍්‍රීකයන් අතර ප‍්‍රචලිතව සිටී ඊට අනුකූල මූර්ති නිරූපණයටද ශිල්පීහු පි‍්‍රය කළහ. මෙම මිත්‍යා කථාව ග‍්‍රීක මැටි බඳුන් කලාවෙහි ජනප‍්‍රිය තේමාවක් බවට පත් වූ අතර පුනරුදය හා බැරොක යුගවලදී ජනප‍්‍රියත්වයෙන් ගිලිහී ගියේය. නව සම්භාව්‍යය සහ 18 වන සියවසෙන් පසු කලාකරුවන් අතර යළි ජනප‍්‍රිය විය.
ඇපලෝගේ පුරාවෘත්තය
                        ග‍්‍රීසියේ ඔලිම්පස් කන්දේ වාසය කරන්නේ යැයි සැළකෙන දොළොස් දෙවිවරුන්ගෙන් කෙනෙකි. ඔහු මනුෂ්‍ය ස්වභාවයේ ශිෂ්ටමය හා බුද්ධිමය පක්ෂය නියෝජනය කරන්නේ යැයි සැලකෙන අතර ග‍්‍රීසියේ ප‍්‍රාණේන්ද්‍රිය ලෙස සැළකේ. ග‍්‍රීක මිථ්‍යාවන්ට අනුව ඔහු සීයුස් හා ලෙටෝගේ පුත‍්‍රයාය. එසේම ආටිමස්ගේ නිවුන් සොයුරාය. සීයුස්ගේ බිරිඳ වන හේරාගේ රෝෂයට ගොදුරු වීමෙන් වැළකෙණු පිණිස ලෙටෝ ඩිලොස් දිවයිනට පැන ගොස් සිටින විට ඇපලෝ බිහි වූ බව කිය වෙයි. පසුව ඔහු දිනපතා ගුවන් තලය හරහා අශ්වයන් සිව් දෙනෙකු බැඳි රථය පදවාගෙන යන සූර්ය දිව්‍යරාජයා හේලියොස් හා අනන්‍ය කොට සැළකිණි. ග‍්‍රික කලාවේ ඇපලෝගෙන් නිරූපණය වූයේ පුරුෂයෙකුගේ ශරීරයේ පරමාදර්ශී සෞන්දර්යයි. ඔහු නිරූපණය කරනු ලැබුවේ පටියකින් ගැට ගැසූ හිසකෙස් සහිත ශක්තිමත් එහෙත් සියුමැලි තරුණයෙකු ලෙසය. රුවුල දැක්වූයේ නැත. බොහෝ විට නිරුවත්ව දක්වා ඇත. ඇපලෝ වාදනයේ යෙදී සිටින අවස්ථාවලදී ටියුනික් වස්ත‍්‍රයකින් සැරසී සිටී. දුන්නක් සහ ඊ තලයක් දරා සිටින මූර්තිද හමුවේ. ඇපලෝ  මාර්සියාස් සමඟ වාදන තරඟයකින් ජයග‍්‍රහණය කළ පසු මාර්සියාස් ගසක බැඳ හම ගසන ආකාරයත් එම වාදන තරඟයත් සිත්තරුන්ගේ හා මූර්ති ශිල්පීන්ගේ ප‍්‍රිය වූ මාතෘකා විය. ක‍්‍රි : පූ 350ට අයත් ප‍්‍රැක්සිටිලියානු ගුරු කුලයට අයත් උන්නත කැටයමක මෙම සංගීත තරඟය නිරූපණය වේ. එහි ලයර් වාද්‍යය ගෙන සන්සුන්ව ආසනාරූඨව සිටින ඇපලෝ සහ සිටගෙන වාදනයේ යෙදෙන මාර්සියාස් දැක්වේ. හෙලනිස්ටික යුගයේ පර්ගැමම් ගුරු කුලයට අයත් මාර්සියෑස්ගේ ජීව ප‍්‍රමාණ කිරි ගරුඩ මූර්තියක් හමු වී ඇත.
ඇතීනා පිළිබඳ පුරාවෘත්තය
                          ග‍්‍රීක මිත්‍යා ප‍්‍රබන්ධයන්හි එන දෙවඟනකි. ඇපලෝ මෙන් හිතකාමී හා සදාචාර පාර්ශවය නියෝජනය කරයි. ග‍්‍රීක මිත්‍යයට අනුව ඇය මහා දෙවි සියුස්ගේ හිසෙන් උත්පත්තිය ලබන්නේ ආයුධ සන්නද්ධවය. හෙල්ල, පළිහ, සහ ආරක්ෂක හිස්වැස්ම ඇයගේ වේශභූෂණ අතර අනිවාර්යෙන් දක්නට ලැබේ. ඇය අධ්‍යාපනය, කලාව, ශිල්ප හා රාජ්‍ය උත්සවවල චාරිත‍්‍ර පිළිබඳ දෙවඟන ලෙස  ද සැළකේ. ඇය මෙඩූසා මරා දැමීමට පර්සියස්ට උදව් කළ බැවින් සර්ප කේෂ සහිත මෙඩූසාගේ හිස පර්සියස් විසින් ඇයට පරිත්‍යාග කළ බව පැවසේ.  පැරණි කලා නිර්මාණවල එළු සමින් කළ ඇතීනාගේ ‘‘ ඊජිස් ’’ යනුවෙන් හැඳින්වෙන සර්ප රූපයෙන් වැඩ දැමු වස්ත‍්‍රයේ මෙඩූසාගේ හිසද විය. පසුව එය ඇයගේ පළිහට එක්විය. ඇය සටන් කරතැයි පැවසෙන්නේ සාධාරණය සඳහා පමණි. ඇය ඇතෑන්ස් නගරයේ ආරක්ෂඛ දේවතාවිය වන අතර පාතිනොන් යනු ඇයගේ දෙවොලයි. ඇය කන්‍යා දෙවඟනකි. බොහෝ දෙවිවරු ඇය හා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටීබව කියවේ. නූල් කැටීම, රෙදි වියමන, ආදී ගෘහස්ථ කර්මාන්තයන්හි අධිගෘහිත දෙවඟන ඇයයි. බටනළාවද ඇගේ නිර්මාණයකි.  ග‍්‍රීක කුඹලි ශිල්පීන් විසින් ඇතීනාගේ උපත දක්වා සිතුවම් කරන ලද ඇම්පෝරා බඳුන් දක්නට ලැබේ. ක‍්‍රී:පූ 530-515ට අයත් ප්සියාක්ස්ගේ ‘‘එ් වර්ගයේ’’ ද්වීභාෂාමය ඇටිකානු ඇම්පොරා බඳුනක කළු රූප ශිල්පයට අනුව ඇඳි සිතුවම තුළ අශ්ව රථයක් සමඟ හෙරක්ලීස් සහ ඇතීනා දෙවඟන දක්වා ඇති මෙහි අශ්වයින්ගේ පාද අතර ‘‘හිප්ප්‍රොක‍්‍රට්ස් කලෝස්’’ ලෙසින්  ලෙසින් සඳහන්වන පේ‍්‍රම අභිලේඛනයක්ද දක්නට ලැබේ. ඇතීනා දෙවඟන නිරූපණය කරන බර්ලින් සිතුවම් ශිල්පියාගේ ‘‘ඒ වර්ගයේ ’’ ඇම්පෝරා බඳුනක්ද බ්‍්‍රගෝස් විසින් සිතුවම් කළ ලෙකිතොස් බඳුනක්ද ,ක‍්‍රි:පූ 525-500 ට අයත් පැනතනයික් ත්‍යාග ඇම්පෝරා බඳුනක ඇතීනා දෙවඟනගේ රුව සහිත සිතුවම්  හමුවී තිබේ.
හෙරක්ලිස්ගේ  පුරාවෘත්තය
                             ග‍්‍රීකයන් අතර හෙරක්ලීක්ස් වශයෙන් ප‍්‍රචලිත ඔහු අසහාය කාය ශක්තියකින් යුත් ධෛර්ය සම්පන්න චරිතයක් ලෙස ගෞරවයට  පාත‍්‍ර වූවෙකි. සම්භාව්‍යය යුගයේ මෙන්ම පසුකාලීනව යුගයන්හි විසු කලාකරුවන්ද සිය නිර්මාණ සඳහා බෙහෙවින් උපයෝගි කර ගත් තේමාවක් විය. ඔහු විසින් සිදු කළ වීර වික‍්‍රමාන්විත ක‍්‍රම දොළොහක් පිළිබඳව කලාකරුවන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත. එම දුෂ්කර ක‍්‍රියා ඔහු වෙත පවරනු ලැබූයේ යුරිස්තියස් රජුය. අතිශය භයංකර සත්වයන් බොහෝ  සංඛ්‍යාවක් මෙලොවෙන් තුරන් කොට මනුෂ්‍ය වර්ගයාට ජීවිත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේ හේතුවෙන් සෙසු මිත්‍ය වීරයන් අතුරින් පුජනීය ස්ථානයක් හිමිකර ගැනීමට ඔහුට හැකි විය යුතුය. ජනයාගේ ආරක්ෂකයාගේ ලෙසත් නගර මුර කරන්නා ලෙසත් සලකා ග‍්‍රීකයෝ ඔහුට වන්දනාමාන කළහ. ඔහුගේ මව මනුෂ්‍යය ස්ත‍්‍රියක් වූ අල්ක්මිනා වන අතර පියා සීයුස් හෙවත් ජුපිටර් විය. අල්ක්මිනාගේ ස්වාමි පුරුෂයා වන ඇම්ප‍්‍රිටියෝන් නොමැති අවස්ථාවක සියුස් ඇය හා විසීමේ ප‍්‍රතිථලයක් ලෙස ඇය නිවුන් දරු දෙදෙනෙකු බිහි කළ අතර හර්කියුලිස් හෙවත් හෙරක්ලීස් ඉන් එක් දරුවෙකි. මෙම හේතුව නිසා ඔහුට ජීවිත කාලය පුරාම සියුස්ගේ බිරිඳ වූ හේරාගේ රෝෂයට ලක්වීමට සිදුවිය. මරණයෙන් පසු ඔහු  ඔහු දේවාත්වරෝපණය කොට ඔලිම්පියානු දේව මණ්ඩලයට එක් වීමේ වරම මහා දෙවි සියුස්ගෙන් ලැබුණු අතර දිව්‍ය රථයකින් ඔහු  ඔලිම්පස් කන්ද බලා ගෙන යාමේ කාර්ය ඔහුගේ ආරක්ෂක දෙවඟන වූ ඇතීනා හෙවත් මිනර්වාට පැවරිණි. හර්කියුලිස්ගේ මරණය චිත‍්‍ර මූර්ති නාට්‍ය ඇතූළු බොහෝ මාධ්‍යන්ගෙන් නිරූපණය කොට ඇත. ක‍්‍රි:පූ 500ට අයත් හෙරක්ලීස් සහ ඩෙල්පියානු ත‍්‍රිපාදය නිරූපණය කරමින් සික්ස්ගේ ශිල්ප ක‍්‍රමයට සැරසූ ඇටිකානු ලෙකිතොස් බඳුනක්, ක‍්‍රි:පූ 530- 515 ට අයත් අයත් ප්සියාස්ගේ ද්වීභාෂාමය ඇටිකානු ඇම්පෝරා බඳුනක කළු රූප ශිල්පයට අනුව ඇඳි සිතුවම තුළ අශ්ව රථයක් සමඟ හෙරක්ලීස් සහ ඇතීනා දෙවඟන දක්වා ඇති මෙහි අශ්වයන්ගේ පාද අතර ‘‘හිප්පොක‍්‍රෙටිස් කලොස්’’ ලෙසින් සඳහන් වන පේ‍්‍රමා අභිලේඛනයක් දක්නට ලැබේ.ක‍්‍රි :පූ 500ට අයත් යුෆෝනියස් කුඹලි ශිල්පියා විසින් අත්සන් තබා ඇති ඔනෙසිමස් සිතුවම් කළ සේ සැළකෙන ඇටිකානු රතු රූප කයිලික්ස් බඳුනක පතුලේ එම බඳුන හෙරක්ලීස් වෙත පූජා කරමින් ලියන ලද එට්රස්කානු පූජාමය ග‍්‍රැෆිටෝ අභිලේඛනයක් ද හමු වී ඇත.
ගැනිමිඞ් පිළිබඳ පුරාවෘත්තය
                           ජනප‍්‍රවාදයට අනුව ට්‍රෝයි රජු ට්‍රොස්ගේ පුත‍්‍රයාය. එඬේරෙකු වූ ගැනිමිඞ්ගේ අසමාන රූපශ‍්‍රීය හේතුවෙන් ජුපිටර්ගේ ආලයට ගොදුරු වූවෙකි. සමලිංගික පේ‍්‍රමය පිළිබඳ ව අනාවරණය වන අවස්ථාවක් ලෙස මෙය සැලකේ.  ඕවිඞ්ට අනුව ජුපිටර් රාජාලියෙකුගේ වේශයෙන් පැමිණ එම තරුණයා ඔලිම්පස් කන්දට රැුගෙනගොස් සිය මදුවිත බඳුන දරා සිටින්නාගේ කාර්යය ඔහුට පැවරීය. කබායක් හැඳ ප‍්‍රිජියානු කැප් තොප්පියක් පැළඳ රාජාලියෙක් සුනඛයෙක් සමඟ සිට්න ගැනිමිඞ් පසුකාලීන ග‍්‍රීක මැටි බඳුන්වල අන්තර්ගත විය. පුනරුදය සහ පසු යුගවල රාජාලියා විසින් රැුගෙන යන ගැනිමිඞ් ඇතැම්විට රාජාලියාගේ පිහාටුවක් වැළඳ සිටින අයරින් හෝ විරුද්ධත්වය ප‍්‍රකාශ කරන අයුරින් නිරූපිතය. ඔහු වයින් බඳුනක් අතැතිව සිටින අයුරු හෝ ජුපිටර්ගේ වයින් බඳුන දරා සිටි හෙබේගෙන් එය ලබා ගන්නා ආකාරය දක්වන සිතුවම්ද දක්නට ලැබේ. පසුබිමේ භෝජන සංග‍්‍රහයක් දක්නට ලැබේ.
මීඩියා පිළිබඳ පුරාවෘත්තය
                           ඇය ග‍්‍රීක මිත්‍යයයේ එන කාන්තාවකි. කොල්චිස්හි රජු ඊටිස්ගේ දියණිය වූ ඇය මායා කාරියක ලෙස ප‍්‍රකටය. කොල්චිස් රාජ්‍යයට උරුමකම් කීම සඳහා රන් බැටළු සම සොයා එන ජේසන් කෙරෙහි ආසක්ත වන ඇය එය ලබා ගැනීම සඳහා ඔහුට උදවු කරයි. රජු ජේසන්ට ඉලක්ක තුනක් සපුරාලිය යුතු බව පවසයි. ගින්දර ආශ්වාස ප‍්‍රාශ්වාස කරන ගවයන්   බැඳි විය ගහකින් කෙතක් සී සෑම එක් කාර්යයකි. ජේසන්ට සිරුරේ ආලේප කර ගැනීමට මීඩියා ලබා දෙන ආලේපය හේතුවෙන් ගින්නෙන් බේරී සී සෑමට ඔහුට හැකි වේ.  දෙවන කාර්යය වන්නේ සී සෑ කෙතෙහි මකර දත් වැපිරීමයි. මකර දත් හමුදාවක් බවට පත්වේ.ජේසන් මීඩියාගේ උපදෙස් අනුව ඔවුන් වෙත විශාල ගලක් දමයි. එය කෙසේ කුමන දෙසින් ආවේදැයි නොදත් ඔවුන් එකිනෙකාට පහර දීමෙන් විනාශයට පත්වේ. අවසානයේ රන් බැටළු හම ආරක්ෂා කරන නොනිදන මකරා සමග ෂටන් කොට එය ලබා ගන්නා ලෙස අණ ලැබේ. ෙඖෂධ පැළෑටි මිශ‍්‍රණයෙන් මීඩියා විසින් සකසා ගන්නා මත්පැන් වර්ගයක් පානය පිණිස දීමෙන් මකරා නින්දට වැටේ. මීඩියා මෙසේ ජේසන්ට උපකාර වන්නේ අවසානයේ තමන් රැුගෙන ගොස් විවාහ කරගන්නා පොරොන්දුව මතය.ජේසන්ද ඈ විවාහ කර ගන්නා අතර ඈ ඔහුට දාව දරු දෙදෙනෙකු ලබයි. කොරින්ත්හි රජු ක‍්‍රියෝන් තම දියණිය වූ ග්ලෞකේ ජේසන්ට විවාහ කර දීමට කැමැත්ත ඵල කිරීම නිසා ජේසන් ඊට එකඟ වීම දරාගත නොහැකි වූ මීඩියා ජේසන්ගෙන් පළි ගැනීමට සිය දරු දෙදෙනා මරා ඇතැන්සයට පලා යයි. ඇය පලා ගියේ තම සීයා වූ හෙලයොස් හෙවත් සූර්ය දිව්‍යය රාජයා විසින් එවන ලද මකරුන් බැඳි රියකින් බව කිය වේ.
                     මීඩියා විසින් කරන්නට යෙදුණු  බොහෝ ඉන්ද්‍රජාලික ක‍්‍රියා සිත්තරුන් විසින් සිතුවම් කිරීමට ප‍්‍රිය කළ බවක් පෙනේ. ක‍්‍රී:පූ 330 ට පමණ අයත් රතු රූප ඇම්පෝරා බඳුනක මීඩියා සිය පුත‍්‍රයා ඝාතනය කරනු දක්නට ලැබේ. පැරණි කලාවේ ඇය ම්ලේඡ්ච ස්ත‍්‍රියක් වශයෙන් සැලකීමට කලාකරුවන් පෙළඹුණු නමුත් නූතන කලා කරුවන් දැඩි සානුකම්පිත දෘෂ්ටියකින් ඇය දෙස බැලූ බවත් පෙනෙන්ට තිබේ. ඇයගේ අභ්‍යන්තර ආවේග ප‍්‍රකට කිරීමටත්, පුරුෂ මූලික සමාජයක ස්ත‍්‍රිය සමාජ අසාධාරණයට ලක්වන අයුරු විවේචනය කිරීමටත් නාරිද්ෙවිශයෙන් පෙළෙන්නන් අපහසුතාවයට පත් කිරීමටත් භාවිත කෙරුණි.
මෙඩූසා  පිළිබඳ පුරාවෘත්තය
                      ග‍්‍රික මිත්‍යයට අනුව ගොගන් සහෝදරියන් තිදෙනාගෙන් එක් අයෙකි. ඉමහත් භයානක පෙනුමකින් යුතු මොවුන්ගේ නෙත ගැටුණු කෙනෙකු එකෙනෙහිම පාෂාණ බවට පත් වෙතැයි විශ්වාස කළහ. එළියට නෙරා ආ ඇස් මුඛය දෙපසින් මතු වූ දළ හා සර්ප කේශ සහිත හිසක් ඇති ඔවුන් දිව මුඛයෙන් පිත තට දිගුකරගෙන සිටී.මෙඩූසාගේ හිස පර්සියස් විසින් කපා දැමූවද දුටූ කෙනෙකු පාෂාණ බවට පත්වීමේ හැකියාව එසේ සිරුරින් වෙන් වූ හිසටද වූ බව කියවේ. මේ හේතුවෙන් යුධ භටයන්ගේ පළිස්වල සහ වෙනත් සන්නාහවලට ආරක්ෂක මන්ත‍්‍රයක් සේ සළකා ඇගේ රුව නිරූපණය කොට ඇත. පර්සියස්ගේ ආරක්ෂක දෙවගන වන මිනර්වා එළු සමකින් නිම කොට ඇති ඇගේ වස්ත‍්‍රයේ ගෝගන් හිසක් සළකුණු කොට තිබු බව පැවසේ. ග‍්‍රික මැටි බඳුන් සිතුවම්වලද මෙය නිරූපණය වේ.
ඩනයි පිළිබඳ පුරාවෘත්තය
                          ග‍්‍රීක මිත්‍යයට අනුව ඩනයි අගොස්හී රජු ඇක‍්‍රීසියස්ගේ දියණියයි. දියණියට ලැබෙන පුත‍්‍රයෙ මරා දමන බවට පළ වූ අනාවැකියක් නිසා රජු ඈ කිසිවෙකුට ළගා විය නොහැකි ලෙස ලෝහ ස්ථම්භයක සිර කොට තබා ඇත. එහෙත් රන් වැස්සක් මෙන් පැමිණි ජුපිටර් හා එක්වීමෙන්  ඕ පුතෙකු බිහි කළාය.පර්සියස් නම් වූ ඔහු අතින් තම සීයා මරණයට පත් වන්නේ අහම්භයකින් විසි කළ කවපෙත්තක් වැදීමෙනි. ක‍්‍රි:පූ 490-470 අතර කාලයට අයත් රතු රූප ග‍්‍රීක කාටර් බඳුනක මෙම සිදුවීම දැක්ෙවි. නිරුවත් කාන්තා රූපය නිරූපණයට ප‍්‍රිය වූ පුනරුද ශිල්පීන්ටද මෙය මනා වාස්තුවිෂයක් විය.කවිච්චියක හෝ බිම දිගා වී අහස දෙස නෙත් යොමා බලාපොරොත්තු සහගතව සිටින ඩනයිගේ නිරුවත් රූපය සහ ඇය අසළ සිටින මහලූ සේවිකාව බොහෝ විට දැක්වේ. වළාකුළු අතරින් ස්නර්ණමය වැස්සක් හෝ ආලෝකයක් සහිතව ඇතැම් විට කාසි හෝ වැටෙන අයුරු නිරූපණය වේ. ඩනයි පවිත‍්‍රතාවයේ සංකේතය ලෙස පුරාණ ග‍්‍රීක වැසියන් විසින් සළකනු ලැබීය.
ඩයොමිඞීස්  පිලිබඳ පුරාවෘත්තය
                       මොහුද ග‍්‍රීක මිත්‍යයයේ එන වීරයෙකි. ටෝජ සංග‍්‍රාමයේ සටන් කළ නිර්භීත රණ ශූරයෙකු වන අතර ඔහු සහ එ්ජැක්ස් සමව ආකෙයියානු රණ ශූරයන් අතරින් දෙවන ස්ථානයේ තැබිය හැකි බව ඉලිය්හි සඳහන් වේ. මව් පාර්ශවයෙන් ලද උරුමය අනුව ඔහු පසුව ආගෝස්හි රජ බවට පත්විය. ට්‍රෝජ සංග‍්‍රාමයට සහභාගී වූවන් අතරින් වැඩිම නෞකා බලඇණියක් සමග සහභාගී වූවන්ගෙන් තුන්වන ස්ථානය හිමි වන්නේ ඔහුටය. එයට නෞකා අසූවක් විය. ඉලියඞ් ග‍්‍රන්ථයේ ප‍්‍රධාන චරිතයක් වන ඔහු තුළ ග‍්‍රීක වීරයන්ගේ අභාග්‍යයට හේ්තු වූ දැඩි ගර්වය පිහිටා නොතිබීම විශේෂ කාරණයක් සේ සැළකේ. අයෝමය දේහයක් සහිත ඩයොමිඞීස්ගේ ශිලා මූර්තියක් ග‍්‍රීසියෙන් හමු වී ඇත. රැුළි සහිත කෙටි කෙස් වැටියකින් සමන්විත නග්න මූර්තියක් වන එය ක‍්‍රි:පූ 430 අයත් වේ යැයි සැලකේ. ඩයෝමිඩිස් ඇපල්ලෝට පහර දෙන අයුරු ග‍්‍රීක රතු රූප මැටි බ\ුනකද සිත්තමිව ඇත.
සියුස් පිළිබඳ පුරාවෘත්තය
                         ඔලිම්පියානු දේව මණ්ඩලයේ ප‍්‍රධාන දෙවියා ලෙසත් දෙවියන් සහ මිනිසුන්ගේ පාලකයා ලෙසත් පිළිගැනේ. අකුණු සැරෙන් ප‍්‍රතිමල්ලවයන් විනාශ කරන  ඔහු දුර්වල පක්ෂයට පිහිට වන බවද විශ්වාස කෙරේ.  ග‍්‍රීසියේ ඔලිම්පියාවේ සියුස් දෙවොල ඔහු වෙනුවෙන් ඉදිව ඇති ප‍්‍රධාන පූජ්‍යස්ථානය වන අතර පීඩියාස් නම් මූර්ති ශිල්පියා විසින් රනින් හා ඇත්දළවලින් නිම වූ සියුස් ප‍්‍රතිමාව   පැරණි ලෝකයේ පුදුම අතුරින් එකක් ලෙස සැළකිණි. සිය බැල්මකින් ඔලිම්පස් කන්ද සෙලවීමට හැකි දෙවියෙකු වුවද කලාකරුවන් ඔහු නිරූපණය කළේ නිමක් නැති පෙම් සබඳතාවල පැටලෙමින් සිට්න්නෙකු ලෙසය. රූපාන්තරණය වෙමින් දෙවඟනන් අප්සරාවන් මෙන්ම මිනිස් කතුන්ද වසඟයට ගන්නා සියුස් සහ ඔහු පසුපස ඊර්ෂයාවෙන් හඹා යන් හේරා හෙවත් ජුනෝද සිත්තරුන්ට ශුංගාරාත්මක තේමා සැපයීය. අයිඩා කන්දේදි සියුස්ට බිලි පූජා පිරිනමන ආකාරයත් හේරා සහ සියුස් ආලයෙන් වෙළි සිටින ආකාරයත් ඔහු විවිධ වෙස් ගෙන ඩනයි,ලීඩා,යුරෝපා සමග සිට්න අයුරුද සිත්තරුන්ට විෂය විය.    
ස්ෆින්ක්ස්  පිළිබඳ පුරාවෘත්තය
                            පැරණි මිසරයේ හෙවත් ඊජිප්තු කලාවේ නිරූපණය වූ මෙහි අභිප‍්‍රාය වූයේ බලය හා සුපරික්ෂාකාරී බව සංකේතවත් කිරීමයි. පැරණි මිසර දේවස්ථානවලට ප‍්‍රවේශ වන මාර්ගය දෙපස මානවයෙකුගේ බඳු හිසක් සහ සිංහයකුගේ බª ශරීරයක් සහිත ස්ෆින්ක්ස් මූර්ති පෙළක් ස්ථාපනය කොට පැවතුණි. සම්භාව්‍යය ග‍්‍රීසියේදී මෙම ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙන්ස් වී ස්ෆින්ක්ස් මූර්තියට කාන්තාවකගේ හිසක් සහ පියයුරුද රාජාලියෙතුගේ බඳු පියාපත්ද සර්ප වලිගයක්ද එක් විය. පුනරුද කලාව හා පසු කාලීන කලාවන්ද එ් ලක්ෂණ එලෙසින්ම පවත්වාගෙන ගියහ. ග‍්‍රීකයන් ස්ින්ක්ස් සැලකුවේ ගුප්ත ප‍්‍රඥාවේ කෝෂ්ඪාගාරයක් ලෙසයි. මේ සම්බන්ධ වැදගත්ම පුවත හමුවන්නේ ඊඩපස්ට් පුරාවෘත්තයේය.ස්ෆින්ක්ස් ප්‍රෙහේළිකාව විසඳීම තිබ්ස් නගරවාසීන් මුහුණ පෑ ප‍්‍රධාන ගැටළුවයි. සතර පයින් ඇවිද , නැවත දෙපයින් තුන් පයින් ඇවිදින්නේ කවරෙක්ද යනු එම ප්‍රෙහේළිකාවයි. මෙයට පිළිතුරු දී ගත නොහැකි වු විට මගියාගේ උගුරු දණ්ඩ මිරිකා මරණයට පත් කරන ලදි. එම ස්ථානය පසුකර යාමට පැමිණි ඊඩිපස්ට් පිළිතුර මිනිසා බව පැවසීය. එවිට ස්ෆින්ක්ස් විනාශයට පත් විය. ඊඩිපස්ට් ස්ෆින්ක්ස්ට පිළිතුරු දෙන ආකාරය කලාකරුවන්ට ජනප‍්‍රිය තේමාවක් විය. එය විවිධ අයුරින් නිරූපනය වේ. ග‍්‍රීක මැටි බඳුන්වලටද විෂය වූ මෙය පුනරුදය හා පසු කාලීන යුගයන්වලද දක්නට ලැබිණි.

ග‍්‍රීක මිත්‍යා කථා ඇසුරින් වර්ධනය වූ මැටි බඳුන් සිතුවම් කලාව
                                      මිත්‍යා කථා තුළින් වර්ධනය වූ වැදගත්ම කලා නිර්මාණය වන්නේ ග‍්‍රීක මැටි බඳුන් බැවින් මෙහිදී එ් හා ආශ‍්‍රිත කලා නිර්මාණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම අපේක්ෂා කෙරේ. පුරාවිද්‍යාත්මක අධ්‍යනයන් සඳහා පුරාණ ඉතිහාසයෙන් අපට ලැබී ඇති ද්‍රව්‍යාත්මක සාධක අතුරින් මිනිසා මැටියෙන් තැනූ නිශ්පාදන හඳුනාගත හැකිය. මැටි බඳුන් නිර්මාණයන් අධ්‍යනය සඳහා විවෘත්ත වූ  විශිෂ්ටතම ශිෂ්ටාචාරය ග‍්‍රීසිය වන අතර ග‍්‍රීසිය තුළත් ඉන් පිටතත් ග‍්‍රීකවරුන් විසූ  ඕනෑම ස්ථානයකත් හමුවන මැටියෙන් තැනූ බඳුන් දහස් ගණනක් හමු වී අති අතර මේවා මැටි ඵලකවල සිට විවිධ දෑ ගබඩා කිරීම සඳහා යොදා ගත් බඳුන් , අවමඟුල් කටයුතුවලදී යොදා ගත් බඳුන් ලෙස යොදාගෙන ඇති බව පෙනේ.
                                     මැටි බඳුන් සිතුවම් ක‍්‍රමයේ වර්ධනයත් සමඟම ඇටිකානු කුඹල් ශිල්පීන්ගේ ප‍්‍රධාන ලක්ෂණය වූයේ ඔවුන් තම මැටි බඳුන් අලංකාර කිරීමට යොදා ගත් ප‍්‍රධානම තේමාව මිනිස් රූප වීමයි. මැටි බඳුන් විශේෂයෙන්ම ප‍්‍රායෝගික අවශ්‍යතාවයන් අරමුණු කරගෙන නිපද වුවද ඒවා පුරාණ ජ්‍යාමිතික ශෛලිය අතහැ දමූ අවධියේ සිටම පුරා කථාවන් පිළිඹිබු කළ දර්ශනයන්ගෙන් සැරසීම සිදු විය. මෙය සිදු වන්නට ඇත්තේ පෙර තිබූ සැරසිලි ක‍්‍රමයන්ට වවඩා මිනිස් රූප යොදාගෙන කරන මෙම සැරසිලි ක‍්‍රමයට ශිල්පියාගේ තිබූ කැමැත්ත නිසා යැයි සිතිය හැකිය. ක‍්‍රි:පූ 580දී පමණ ඇටිකානු මැටි බඳුන් ශිල්පයේ නව ප‍්‍රවර්ධනයක් ඇති වූ අතර එය මැටි බඳුන් සරසන ශිල්පයක් නොව කථාවස්තුවක් චිත‍්‍රයට නංවන සහ සංදර්ශක (භ්රර්එසඩැ ්බා ඍැචරුිැබඒඑසඩැ  * කලා ශිල්පයක් බවට පත් විය. හතරවන සියවසේ මැද භාගය දක්වාම මූලික තේමා සමූහ දෙකක් කුඹල් ශිල්පය අවුරා බල පැවැත්වුණු අතර මේවා පළමුව කළු රූප ශෛලිය අනුවත් ඉන් පසුව රතු රූප ශෛලිය අනුවත් බඳුන් සැරසීමට භාවිත විය. මෙම මුලික තේමාවන්ගෙන් එකක් පුරා කථා ඇසුරින් ග‍්‍රීක දෙවිවරුන්ගේ සහ වීරයන්ගේ කටයුතු නිරූපණය කළ අතර අනෙක මිනිසාගේ දෛනික කටයුතු සිතුවමට නංවමින් අලංකාර කරන ලදි. මෙසේ මිත්‍යා කථාවන් ආශ‍්‍රයෙන් බඳුන් සිතුවම්කරණයට පෙළඹුණ අතර කුඩා කෝණාකාර රටාවන්ගෙන් පුරවා තිබූ පටු තීරු වෙනුවට වක‍්‍රාකාර රේඛා සහිත සැරසිලි භාවිත කළ අතර දෛනික ජීවිතයේ සිතුවම් ඇඳීම වෙනුවට නිශ්චිත වූ මිත්‍යා කථාවක් පිළිබ්ඹු කිරීමට පටන් ගත්හ.
                                      උදාහරණයක් වශයෙන් හෙරක්ලීස් නම් වීරයා සහ නෙස්සොස් (භැිිදි* නම් සෙන්ටෝවරයා මරණයට පත් කිරීමට සැරසෙන අවස්ථාවක් ක‍්‍රි:පූ 660 දී සොහොන් කොතක් මෙන් භාවිත කළ අටිකානු ඇම්පෝරා බඳුනක නිරූපණය කොට ඇත.මෙහි මෙම මිත්‍යා කථාව සමස්තරව බඳුනේ කඳෙහි සිතුවම් කොට ඇත. නෙස්සොස් (භැිිදි* නම් සෙන්ටෝවරයා ඔරු පදින්නෙකු විය. තම රැුකියාව කරන අතරතුරදී ඔහු හෙරක්ලීස්ගේ බිරිඳක වූ ඩෙයනෙයිරා තම ඔරුවෙන් එතෙර කිරීමට පොරොන්දු වූ අතර ගඟ මැදදී ඇයගේ රූපයට වශී වී ඇයව ¥ෂණය කිරිමට උත්සහ ගත් විට හෙරක්ලීස් නෙස්සොස්ගේ ක‍්‍රීයාවට විරුද්ධව ක‍්‍රියා කරන ලදි. මෙම ඉදිරිපත් කිරීමෙන් හෙරක්ලීස් තම කඩුවෙන් සෙන්ටොවරයාට පහර දෙනවාත් සමඟම සෙන්ටොවරයා ඇඳ වැටෙන ආකාරයත් වීරයාගේ අනෙක් පසින් ඩෙයනෙයිරා රූපයේ දකුණු පසින් අශ්වයින් හතර දෙකෙු යෙදු අස්රියේ රැුහැන් අල්ලාගෙන ලැජ්ජාශීලිව සිටින අයුරුත් පිළීබිඹු කොට ඇත. හෙරක්ලීස් හා නේසස් ඉතා සැලකිලිමත් ලෙස වෙන් කළ ඇති අතර හෙරක්ලීස් ඉතා පිරිසිදු හා කඩිසර ස්වරූපයෙන් පෙන්වා ඇත. ඔහු හොඳින් කැපූ රුවුලක් සහ මනාව සැකසු කෙස් වැටියකින් යුක්තව දක්වා ඇති අතර නෙස්සොස් අපිරිසිදු පෙනුමකින් යුක්තව බලාපොරොත්තු රහිත බවකින් නිරූපණය කරයි. හැඟීම් දනවන විශාල දෑස්වලින් යුක්ත පෙනුම හෙරක්ලීස්ගේ දෙඅත් දෙපා හා ඩෙයනෙයිරාගේ සාය පිට මායිම් සහිතව දක්වා ඇත. කලා ශිල්පියා ශක්තිමත් වීරයා හා ඇඳ වැටෙන මෘගයා අතර වෙනසත් අශ්වයන් අතර වෙනසත් මනාව දක්වා ඇති අතර තම කථාව ඉතා මැනවින් රූප ආශ‍්‍රයෙන් පිළිබිඹු කොට ඇත.
                             තවද හත්වන සියවසේ මැද භාගයට අයත් තවත් තවත් ඇටිකානු කලා ශිල්පියෙකු බඳුනේ කඳ කොටසේ පර්සියස් හා ගෝගොන්වරියන් නිරූපණය කළ සිතුවමට අනුව ‘‘මෙඩූසා’’ නමින් හැඳින්වූ  මහා පරිමාණයෙන් යුතු ඇටිකානු බඳුනද උදාහරණයක් ලෙස ගිණිය හැකිය.එහි හඹා යන ගෝගන්වරියන් දෙදෙනා සහ වම් පසින් හිස සිඳ දැමීම නිසා ඇඳ වැටෙන ඔවුන්ගේ මෙඩූසා සොයුරිය දැකිය හැකිය. පර්සියස් ලූහුබඳින මෙඩුසාගේ නොමැරෙන සුළු සොයුරියන් දෙදෙනා ද දක්වා තිබේ. පලා යන  පර්සියස් වැසෙන ලෙසින් ඇතීනාගේ සිහින් සිරුර ගොගොන්වරියන් හා පර්සියස් අතර දක්නට ලැබේ. හිසින් වෙන් වූ මෙඩූසාගේ සිරුර රූපයේ වම් අන්තයේ තිරස්ව සිතුවමට අයත්වන සිද්ධි මාලාවට ඔබ්බෙන් වැටී ඇත.
                            එසේම මෙම ඇම්පෝරා බඳුනේ  කරෙහි දැක්වෙන්නේ ඔඩිසියස් හා එකැස් යෝධයෙකු වන පොලිෆීමස්ගේ මිත්‍යා කථාවේ සිදුවීමකි. ට්‍රෝජන් යුද්ධයේ වීරයෙකු වන ඔඩිසියස් නැවත යන ගමනේදී එකැස් යෝධයෙකුගේ ගුහාවේ සිරකරුවෙකු බවට පත් වේ. සයික්ලොප්වරයා තම ගුහාවේ දොරටුව විශාල ගල් පර්වතයකින් වසා දමා ඔඩිසියස්ගේ මින්සුන් දෙදෙනා බැගින් ආහාරය පිණිස ගන්නා ලදි. මෙම පර්වතය සෙලවීම තමාට සහ තම සගයන්ට කළ නොහැකි නිසා එය යෝධයාගේ උදවුවෙන්ම කරවාගත යුතු බවත් ඔහුට නොපෙනී ගුහාවෙන් පලා යා යුතු බවත් පසක් කර ගන්නා ඔඩිසියස් එයට මගක් සොයයි. ඔහුගේ සැලසුමේ පළමු අධියර ලෙස සයික්ලොප්වරයා බීමත් කරවන අතර දෙවැන්න ලෙසින් ඔහුගේ ඇස අන්ධ කරයි. මෙම කථාව පැහැදිලි කිරිම සඳහා පේ‍්‍රක්ෂකයන්ට පහසුවෙනම අවබෝධ කර ගත හැකි ඇස අන්ධ කරන ජවනිකාව සිතුවමට නගා ඇත.
                           සමස්තයක් ලෙස බැලූවහොත් මෙවැනි සිතුවම් සහිත මැටි බඳුන් සිය ගණනක් හමුවන අතර ඒවායේ සිතුවම්වල රූප පැතලි ස්වරූපයක් පෙන්වයි. සිතුවම ඉතාම පැහැදිලිය.ඒවායේ ක‍්‍රියාවන් හා හැඟීම් වඩා ළගන්නා ආකාරයකින් ඉදිරිපත් කිරිමට කලා ශිල්පියාට හැකි වි ඇත. ශරීරය පිළිබඳ විස්තර නියමානුකූල බවට පත්කොට ඇති අතර හිස් බොහෝ  විට පාර්ශව දර්ශී ලෙසද ඇඳ ඇත. සිරුරේ අවයව වල සමබරතාවයද මැනවින් දක්වා ඇත.
නිගමනය
                                        කෙසේ වෙතත් මෙහිදී පැහැදිලි වන්නේ ග‍්‍රීක මිත්‍යා කථාවන් වූ කලී එහි බිහි වූ සමස්ත කලාවන්ට තේමාවන් සපයා දුන් උල්පතක් බවය. ඒවා ඉතාම අභව්‍යය සිදුවිම් තුළින් ගහණ වූ දේවත්වය හා වීරත්වය හුවා දැක්වීමට ගොතන ලද කථා වුවද ග‍්‍රීක කලා ශිල්පීන්ගේ ජනප‍්‍රිය තේමාවන් බවට ඒවා පත්ව තිබෙන ආකාරය මෙහිදී පෙනී යයි. එය සම්භාව්‍යය යුගයේ පමණක් නොව මධ්‍යතන හා පුනරුද සමයන්හීද එක ලෙසම ජනප‍්‍රිය විය. මෙම මිත්‍යා කථා පිළිබඳ පෙන්වන වැදගත්ම සාධකය ග‍්‍රීක මැටි බඳුන් කලාවේ සිතුවම් වන අතර එහිදී ශිල්පීන් බඳුන් සිතුවම් තුළින් මිථ්‍යා කථාවක් නිරූපණයට ගත් උත්සහය සහ එමගින් පේ‍්‍රක්ෂකයාට ලබා දීමට අපේක්ෂා කළ හැඟීම සහ දෘෂ්ටිය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මෙම සිතුවම් ශෛලිය සහ කථා වස්තුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව ප‍්‍රගුණවීමත්් සමඟම සිතුවම් ශිල්පීන්  ඔවුන්ගේ නව චින්තනය , නව අදහස් අත්හදා බැලීමේ කැමැත්ත, ඔවුන්ගේ ශාස්ත‍්‍රීය ඥනය ,එනම් එම පුරාවෘත්තය පිළිබඳව ඔවුන් දැන් සිටී විවිධ අනුවාදයන් සිතුවම් අනුසාරයෙන් හුවා දැක්වීමට තිබූ කැමැත්ත, හැකියාව පිළිබඳව මෙමගින් අණාවරණය වන බව  කිව  හැකිය,
                                     එසේම සමකාලීන සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හරයන්ද මෙම සිතුවම් තුළින් වටහා ගත හැකිය. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් එකල සමාජයේ භාවිත කළ සිරිත් විරිත්, ප‍්‍රිය සම්භාෂණ, ඇඳුම් පැළඳුම්,යාන වාහන ආදිය එම සිතුවම්වල අන්තර්ගතය. මිත්‍යා කථාව ඇඳ දැක්වීම මුඛ්‍ය පරමාර්ථය  වුවද ඒ තුළ ශිල්පියා දැනුවත්ව හෝ නොදැනුවත්ව එකල සමාජයේ අංග මෙම සිතුවම්වලට ඇතුළත් වීම නිසා  නුතන ඉතිහාසඥයන්ට, කලා කරුවන්ට, හා චින්තකයන්ට පුරාතන ග‍්‍රීක සමාජය පිළිබඳ ගොඩනගන සිතුවම  වඩාත් පැහැදිලි කර ගැනිමට අවස්ථාව හිමි වී ඇත. එම නිසා මෙම මිත්‍යා කථා ඇසුරින් සිදු වූ කලාවෙහි වර්ධනය කේෂේත‍්‍ර ගණනාවකින්  වැදගත් තොරතුරු නූතන සමාජයට හෙළි කරන බව නිගමනය කළ හැකිය.
                 

                           

1 comment: