Thursday, February 19, 2015

ග‍්‍රීක මිත්‍යා කථා ඇසුරින් වර්ධනය වූ මැටි බඳුන් සිතුවම් කලාව


ග‍්‍රීක ශිෂ්ටාචාරයේ ඉතිහාසය
                          යුරෝපීය ශිෂ්ටාචාරයේ අත්විතීය මිනිසුන් කොටසක් වන ග‍්‍රීකයන්ගේ ඉතිහාසය සැබවින්ම වැදගත්ය. ග‍්‍රීක ශිෂ්ටාචාරයට එම නම යෙදී ඇත්තේ  ග‍්‍රීක භාෂාවෙන් පෝෂණය වූත් ග‍්‍රීකයන් විසින් දියුණු කරන ලද්දා වූත් එකක් නිසාවෙනි. එසේ වුවද එම ශිෂ්ටාචාරය ග‍්‍රීසියට පමණක් සීමා වූවක් නොවේ. එය මධ්‍යධරණි මුහුද වටා පිහිටි වෙරළබඩ ප‍්‍රදේශ විශාල ගණනකට ව්‍යාප්ත වෙයි.
                          ග‍්‍රීකයන්ගේ ඉතිහාසය පිළිබඳ සෙවීමේදී ක‍්‍රි:පූ 1400න් පසු අයොනියානු , ඇකිනියානු , ඩොරියානු වර්ගවලට අයත් ජනයා බෝල්කන් අර්ධද්වීපයටත් සුළු ආසියාවේ බටහිර වෙරළටත් මධ්‍ය ආසියාවෙන් ගලා ආ බව පෙනේ. එනමුදු ඔවුහු මුල් කාලය තුළදි මිලේච්ඡු ජන කොටසක් ලෙස වාසය කළහ.  එකල ක‍්‍රීටය අවට ¥පත්වලත් ඊජියන් මුහුද ආශ‍්‍රිතවත් පැතුරුණු මයිසීනියානු ශිෂ්ටාචාරය විනාශ කොට පදිංචි වූවෝ ග‍්‍රිකයෝය. මෙකල ග‍්‍රීකයන් ආගමික වශයෙන් බහු දේව වාදීන් වූහ. සීයුස් හෙවත් අහසට අධිපති දෙවියා සියළුම දෙවියන්ගේ පීතෘවරයා විය. හිරු දෙවියා ඇපලෝ යන නමින් හැඳින්විණි. ඇතීනා දෙව් දුව යුද්ධය හා හස්ත කර්මාන්ත සඳහා අධිපති වූවාය. කල් යාමේදී ග‍්‍රීක ජනයා තමන්ටම ආවේණික ශිෂ්ටාචාරයක් ගොඩනගගා ගත්හ. මෙම ශිෂ්ටාචාරය අපරදිග ශිෂ්ටාචාරයේ පදනම වශයෙන් සලකනු ලැබේ.
                          දේශපාලන වශයෙන් ග‍්‍රීකයන් අනෙකුත් සමකාලීන ශිෂ්ටාචාරවල  දේශපාලන සංස්ථාවලට වඩා වෙනස් වෙයි. පැරණි ශිෂ්ටාචාර බොහොමයක් බිහි වූයේ එක් දේශපාලන ඒකකයක් ඇසුරිනි. එනමුදු ග‍්‍රීක ශිෂ්ටාචාරය දේශපාලන ඒකක රාශියක් තුළ බිහි වූවකි. ග‍්‍රීක දේශපාලන ඒකක පෞර රාජ්‍ය නමින් හඳුන්්වන අතර ඒවා සියල්ලම නගර වටා බිහි වූ රාජ්‍යන්ය. ග‍්‍රීක ශිෂ්ටාචාරයේ පරිහානිය එළඹෙණ තුරුද ග‍්‍රීසිය දේශපාලන වශයෙන් ඒකාබද්ධතාවයක් ළඟා කර බවක් දක්නට නොලැබේ. ග‍්‍රීසියේ පුර රාජ්‍යවල ස්ත‍්‍රීන්ට, වහලූන්ට හා විදේශිකයන්ට පුරවැසිබව නොලැබුණි. මධ්‍යදරණි දේශගුණය එළිමහන් ජීවිතයට හිතකර එකක් වූ අතර ග‍්‍රීකයන් නා නාවිධ ගැටළු පිළිබඳ කථා කරමින් විවේක කාලය ගත කළහ. මේ හේතුවෙන්ම ඔවුන් ඉතා බුද්ධිමයත් පිරිසක් විය. එම නිසාම විවිධ දාර්ශනිකයන් බිහිවූ අතර  කලාව හා සාහිත්‍යය, දර්ශණය පමණක් නොව විද්‍යාවද මේ නිසාම දියුණු විය. ග‍්‍රීකවරුන්ට මෙම නිදහස් ජීවිතය ගත කිරීමට ඉඩ ලැබුණේ වහල් ශ‍්‍රමය නිසාය. ග‍්‍රීක ශිෂ්ටාචාරය බොහෝ අංශ අතින් උසස් යැයි පෙනී ගියද එහි යම් යම් පහත් අංගද විය. වහල් සේවය ග‍්‍රීසියේ පැවති පහත් අංගයක් විය. එසේම ඔවුන්ගේ පහත් ගුණාංග ශාන්ත ඇම්බ්‍රෝස්ගේ බ‍්‍රාහ්මණ වෘතාන්තයෙන් පෙනේ. ඉන්දියාව ආක‍්‍රමණය කළ මහා ඇලෙක්සැන්ඩ‍්‍රර් හා භාරතයේ ඩැන්ඩමීස් අතර වූ සංවාදයේදී ග‍්‍රීකයන් කාමසුකල්ලිකානුයෝගී නිසරු ජීවිත ගත කළ අය බව ඩැන්ඩමීස් පවසා ඇත. මත්පැන් පානය, නොවැදගත් භෝජන සංග‍්‍රහ හා සත්ව ක‍්‍රීඩා ග‍්‍රීක ලෝකයේ අශිෂ්ට ලක්ෂණ බව පෙනී යයි. එහෙත් ග‍්‍රීක ශිෂ්ටාචාරය පෙෙදුවේ සලකා බැලූ විට එය දේශපාලනික , දාර්ශණික අදහස් රැුසක්, ශ්‍රේෂ්ට ලිඛ්ිත සාහිත්‍යයක්, නව කලා සම්ප‍්‍රදායක් හා නව ජීවන ක‍්‍රමයක් ලොවට කියා පෑ ශිෂ්ටාචාරයක් ලෙස අර්ථ දැක්විය හැකිය.
ග‍්‍රීක කලාව
                          ග‍්‍රීකයන්ගේ කලාවන්  අතර ගෘහ නිර්මාණ ශිල්පය, ප‍්‍රතිමා කලාව, සිතුවමි කලාව, කැටයම් කලාව, අතිශයින් දියුණු මට්ටමක පැවතුණි. ඔවුන් එදිනෙදා ජීවිතයේ සැම අංගයකටම කලාවේ සෞන්දර්ය හා සමමිතිය යොදා ගත්හ. එය බොහෝවිට දාර්ශනික පදනමකින් සිදු විය.
                         ලෝහ වර්ගවලින් ප‍්‍රතිමා තැනීම ග‍්‍රීකයන් විසින් ආරම්භ කළේ මීට වසර හාරදහස් පන්සියයකට පමණ පෙරය. ඉන් පසුව කිරිගරුඩ ප‍්‍රතිමා තැනීම ආරම්භ කළ අතර එහි හිණි පෙත්තටම නැගීමට ඔවුන් සමත් විය. ඔවුන්ගේ ප‍්‍රතිමා කලාවය මිසරයෙන් ආභාසය ලැබූ බව නොරහසකි. එහෙත් පසු කාලීනව ඔවුන්ටම ආවේණික වූ සුන්දර මූර්ති සම්ප‍්‍රදායක් ගොඩනගා ගත්හ. ක‍්‍රීඩකයන්ගේ දුවන පනින රූප මෙන්ම නග්න සුන්දරියන්ගේ ප‍්‍රතිරූප නෙළීමේ  විශේෂඥයන් වූයේ ග‍්‍රීකයන්ය. මිනිස් සිරුරේ නග්නනත්වයේ සුන්දරත්වය විනිවිද දුටු ඔවුන් එයින්  මානුෂවාදය මොනවට පිළිබිඹු කරයි. ශරීරයේ කායව්‍යච්ෙඡ්දනමය සවිස්තර (්බ්එදපසජක ාැඒසකි* මැනවින් දක්වා තම ප‍්‍රතිමා නිර්මාණය කිරිම නිසාම ඔවුන්ගේ ප‍්‍රතිමා කලාව අද්විතීය ස්ථානයක් ගත්තේය.
                        ග‍්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය දෙස නෙත් යොමු කිරීමේදී ග‍්‍රීක වාසස්ථාන කුඩා ගොඩනැගිලි විය. ඒවා චාම් අයුරින් නිර්මාණය විය. ඔවුන් තැනු දේවස්ථාන තුළින් ගෘහ නිර්මාණ ශිල්පයේ අති දක්ෂයන් බව පෙන්නුම් කළහ. පාතිනොන් දෙව් මැදුර මේ සඳහා විශිෂ්ට උදාහරණයකි. එසේම ඇම්පිතියටර් නම් එළිමහන් නෘත්‍ය ශාලාද ඔවුන්ගේ නිර්මාණ විය.
                      ක‍්‍රි:පු 5 වැනි ශතවර්ශය පමණ වන විට ලෝකයේ මේවන තුරු කිසි කලෙක ඇති නොවූ කැටයම් කරුවෝ ග‍්‍රීසියේ සිටියහ. ඔවුන් කැටයම් කලාව ජාතික වූද ආගමික වූද උසස් දෙයක් වශයෙන් සළකන්නට විය.
                      ග‍්‍රීකයන්ගේ උසස් නිර්මාණ ශක්තිය ලොවට කියා පාන කලා කෘති රැුසකි. උතුරු ග‍්‍රීසියේ ඔලිමිපස්හි ‘‘සියුස්’’ දේව මැදුර ඉදිරිපිට කිරිගරුඩින් නෙලා ඇති ප‍්‍රතිමාද, තරුණයා, පරවියන් අතින් ගත් දැරිය, කවපෙත්ත විසි කරන්නා,හර්මිස් හා ඩයෝනිස්, ඇපලෝ නම් දෙවියා, වීනස් දි මේලෝ, ඇතීනා දෙවඟන නම් මූර්තියද ෙමිවා අතර වෙයි. මෙම යුගයේ කලා කරුවන් අතර පීඩියාස්, ප‍්‍රැක්සිටිලස්, පොලික්ලීටස්, ලීසිපස්, මයිරන් ආදීන් විසින් මෙම කලා කටයුතුවල නිරත වුවා යැයි සිතිය හැකිය

ග‍්‍රීක කලාවේ වර්ධනයට බලපෑ මිත්‍යා කථා
                        අපරදිග කලාව පෝෂණය වී ඇත්තේ ග‍්‍රීක රෝම මිථ්‍යා කථා සහ ශුද්ධ වූ බයිබලයෙන් ලබා ගත් තේමාවලින්ය. ලෝකයේ නිර්මාණය පිළිබඳව කථාවලට බෙහෙවින් ඇතුළත් වූයේ දේව ගණයාගේ මූලරම්භය පිළිබඳ කථාය. ක‍්‍රි:ව 8 වන සියවසේ හෙසියොඞ් විසින් මෙම කථා ලියවුනි. ග‍්‍රික ශෝකාත්මකක නාට්‍ය කරුවන් මහා කවි හෝමර්ට ණය ගැතිය. ග‍්‍රීක මැටි බඳුන්වල එහි පුරාවෘත්තය මුළුමනින්ම සිත්තම්ව තිබෙන්නට ඇත. කාලීන සිදුවීම්ද එදිනෙදා ජන ජීවිතයේ සිද්ධීන්ද එ් අතර සිතුවම් නොවුනා නොවේ. මෙම කලාවෙහි නියම තෘප්්තිය විඳීමට නම්  ග‍්‍රීක මිත්‍යා කථාව පිළිබඳ මඳ වශයෙන් හෝ දැනුමක් තිබීම අවශ්‍ය වේ.                      මෙහිදී කලාකරුවන් අතර ජනප‍්‍රිය වූ  ග‍්‍රීක   පුරාවෘත්ත කිහිපයක් සිතුවම් කළ මැටි බඳුන් ප‍්‍රමුඛ කලා නිර්මාණ ආශ‍්‍රයෙන් පෙන්වා දිය හැකිය.
ඇකිලීස්ගේ  පුරාවෘත්තය
                      මෙම ග‍්‍රීක මිත්‍යා කථාව  හෝමර්ගේ ඉලියඞ් කාව්‍යයේ ප‍්‍රධාන චරිතය වන ඇකිලිස් සමුද්‍ර දෙවඟනක වන තේටිස්ගේ පුත‍්‍රයා පිළිබඳවය. ඔහුගේ පියා පීලියස්ය. සිය පුත‍්‍රයාගේ දෛවය පිළිබඳව කල් තියා දැන ගත් තේටීස් ඔහු අමරණිය කරනු පිණිස පතුළෙන් අල්ලා ස්ටයික්ස් ගංගාවේ එබුවාය. ප‍්‍රවාදයට අනුව ස්ටයික්ස් යනු පොළව යට පිහිටියේ යැයි කියනු ලබන මළවුන්ගේ ලොකය වෙත යාම සඳහා තරණය කළ යුතු ගංගාවයි. එහි ශීර්ෂ තුනක් සහිත සුනඛයෙකු සිටී. මෙම ක‍්‍රියාව නිසා ඔහුගේ ශරීරයට කිසිඳු උපද්‍රවයක් කළ නොහැකි වුවද පතුල් අනාරක්ෂිතය. ළදරුවා උඩු යටිකුරු කොට ගංගාවේ ගිල්වන අයුරු,පසුපසින් දිස්වන මළවුන්ගේ අවතාර,  ද සෙර්බෙරස් නම් වූ ඔලූ තුනේ සුනඛයාද ස්ටයික්ස් ගංගාවෙන් මළවුන් එගොඩ කරන තොටියාද ග‍්‍රීක මැටි බඳුන්වලින් නිරූපණය කොට ඇත.
                    ඇකිලීස්ට ශිල්ප ශාස්ත‍්‍ර ඉගැන්වීමට තේටීස් විසින් ඔහු භාර කරන ලද්දේ කිරෝන් නැමති නරාශ්වයාටය.තේටීස් විසින් ළදරු ඇකිලීස් ඔහුට භාර දෙන ආකාරය, ඔහු ලයර් නම් වාදනය උගන්වන් ආකාරය, ඔවුන් දෙදෙනා එක්ව වාදනය කරන ආකාරය මැටි බඳුන් සිතුවමි කරුවන්ගේ සිතුවමට භාජනය විය. තම පුත‍්‍රයා ට්‍රෝජන් යුද්ධයට සම්බන්ධ වුවහොත් මිය යන බව දත් තේටීස් ඇකිලීස්ට කාන්තා සළු පිළි අන්දවා ස්කයිරෝස් දිවයිනේ ලයිකොමඞීස් රජුගේ දියණියන් අතුරෙහි වැඩෙන්නට හැරියේය. මේ බව දැනගත් සෙන්පතිවරු ඔහු හඳුනා ගැනීමට උපායක් ලෙස රජුගේ දියණියන් වෙත සළු පිළි හා ආභරණ යැව්වෝය. ඒ අතරට හෙළි පලිස් හා අසිපත් ද එක් කොට තිබූ අතර ත්‍යාග ලබා ගැනීමට සඥා කළ අවස්ථාවෙහි ඇකිලීස්ගේ අත නිරායාසයෙන්ම ආයුධ වෙත ඇදී ගියේය. ඇකිලීස් කාන්තාවන්ගේ වේශයෙන් සෙසු කාන්තාව්න් අතර සිටින ආකාරයත් ආයුධ අතර අත තබන ආකාරයත් සිත්තරුන්ට බෙහෙවින් පි‍්‍රය විය. හෙෆයිටස් හෙවත් වල්කන් විසින් තැනූ යුධ ඇඳුමක් ඇඳි ඇකිලීස් විසින් කේවල සටනකින් ප‍්‍රයාම් රජුගේ පුත්  හෙක්ටර් මරා දැමු බව ඉලියඞ් හි සඳහන්ය. සිය මිතුරෙකු හෙක්ටර් විසින් මරා දැමීම නිසා කුපිත වූ ඇකිලීස් හෙක්ටර්ගේ මළ සිරුර තම අශ්ව කරත්තයේ බැඳ ට්‍රෝයි නගර ප‍්‍රාකාරය වටා ඇදගෙන යන ආකාරයද සිත්තරුන්ට ප‍්‍රිය විය.ඇකිලීස් සතුව සිටී බිසීස් නම් වහල් කාන්තාව ග‍්‍රීක හමුදාවේ ප‍්‍රධානියා වූ ඇගමෙම්නොන් විසින් බලයෙන් අත්පත්කර ගැනීම හේතුවෙන් ඇය ඔහුගෙන් සමුගෙන පිටත්වන ආකාරය පෙන්නුම් කිරීමද සිත්තරු ඇළුම් කළ තේමාවකි. ක‍්‍රි:පූ 525-515ට අයත් ඇන්ඩොකිඞීස් සිතුවම් ශිල්පියාගේ ඇකිලීස් ඒජැක් සමඟ දාදු කී‍්‍රඩාවෙහි යෙදීමද පෙන්වන, දැනට මියුනිච්හි ජාතික කෞතුකාගාරයේ දක්නට ඇති ද්වී භාෂාමය ඇමිපෝරා බඳුනද, ක‍්‍රිඃපූ 470 ට අයත් ක්ලෙයොෆ්රඞීස් සිතුවම් ශිල්පියා සිතුවම් කළ ස්ටැම්නොස් බඳුනකින් තෙටිස් දෙවඟනගේ රුව යොදා ඇති බඳුනද උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. එම රූපයේ මුහුණේ ලක්ෂණ පෙන්වීමේදිද  කොණ්ඩයේ රැුළි සඳහාද කළු පැහැය ලබා දෙන මැටි ද්‍රාවණය යොදාගෙන මතුපිටට නෙරා සිටින සේ දක්වා ඇත.
                      ඇකිලීස් ට්‍රෝජන සටනේදි මිය ගිය බව කිය වේ. එහෙත් සිත්තරුන් වඩාත් ප‍්‍රිය කළේ ඔහු ඇපලෝ දෙවියන්ගේ අල්තාරය ඉදිරිපිට පූජා පවත්වමින් සිටියදී පැරිස් කුමරුගේ හී පහරින් මිය ගිය ආකාරය පෙන්වීමටයි. ට්‍රෝයි නුවර රජ වූ ප‍්‍රයාම්ගේ දියණියක වන පොලික්ස්සේනා ඇකිලීස්ට විවාහ කොට දෙන බවට පොරොන්දු වී ඇයගේ ඉල්ලීම පිට දෙවියන් යදිමින් සිටින අවස්ථාවේ ඇයගේ සොහොයුරු පැරිස් කුමරු ඇකිලීස්ගේ පතුළට හීයක් විදීන ලදැයි පවසන පුරානොක්තිය අනුව එසේ නිරූපණය කොට ඇත. මෙවැනි සිතුවම්වල හීය ගත් පැරිස් කුමරු හා ඔහු ඒ සඳහා යොමු කළ ඇපලෝද දක්නට ලැබේ. ක‍්‍රි:පූ 470 ට පමණ අයත් ඇටික් කළු රූප හයිඞ්‍්‍රයා බඳුනක හෙක්ටර්ගේ මළ සිරුර තම යුධ රථයේ බැඳගෙන පළිහද අතේ දරාගෙන නගරය වටා ගමන් කිරීමට සූදානමින් සිටින ඇකිලීස් දැක්වේ.රණ ශූරයෙකු වශයෙන් ග‍්‍රීකයන් අතර ප‍්‍රචලිතව සිටී ඊට අනුකූල මූර්ති නිරූපණයටද ශිල්පීහු පි‍්‍රය කළහ. මෙම මිත්‍යා කථාව ග‍්‍රීක මැටි බඳුන් කලාවෙහි ජනප‍්‍රිය තේමාවක් බවට පත් වූ අතර පුනරුදය හා බැරොක යුගවලදී ජනප‍්‍රියත්වයෙන් ගිලිහී ගියේය. නව සම්භාව්‍යය සහ 18 වන සියවසෙන් පසු කලාකරුවන් අතර යළි ජනප‍්‍රිය විය.
ඇපලෝගේ පුරාවෘත්තය
                        ග‍්‍රීසියේ ඔලිම්පස් කන්දේ වාසය කරන්නේ යැයි සැළකෙන දොළොස් දෙවිවරුන්ගෙන් කෙනෙකි. ඔහු මනුෂ්‍ය ස්වභාවයේ ශිෂ්ටමය හා බුද්ධිමය පක්ෂය නියෝජනය කරන්නේ යැයි සැලකෙන අතර ග‍්‍රීසියේ ප‍්‍රාණේන්ද්‍රිය ලෙස සැළකේ. ග‍්‍රීක මිථ්‍යාවන්ට අනුව ඔහු සීයුස් හා ලෙටෝගේ පුත‍්‍රයාය. එසේම ආටිමස්ගේ නිවුන් සොයුරාය. සීයුස්ගේ බිරිඳ වන හේරාගේ රෝෂයට ගොදුරු වීමෙන් වැළකෙණු පිණිස ලෙටෝ ඩිලොස් දිවයිනට පැන ගොස් සිටින විට ඇපලෝ බිහි වූ බව කිය වෙයි. පසුව ඔහු දිනපතා ගුවන් තලය හරහා අශ්වයන් සිව් දෙනෙකු බැඳි රථය පදවාගෙන යන සූර්ය දිව්‍යරාජයා හේලියොස් හා අනන්‍ය කොට සැළකිණි. ග‍්‍රික කලාවේ ඇපලෝගෙන් නිරූපණය වූයේ පුරුෂයෙකුගේ ශරීරයේ පරමාදර්ශී සෞන්දර්යයි. ඔහු නිරූපණය කරනු ලැබුවේ පටියකින් ගැට ගැසූ හිසකෙස් සහිත ශක්තිමත් එහෙත් සියුමැලි තරුණයෙකු ලෙසය. රුවුල දැක්වූයේ නැත. බොහෝ විට නිරුවත්ව දක්වා ඇත. ඇපලෝ වාදනයේ යෙදී සිටින අවස්ථාවලදී ටියුනික් වස්ත‍්‍රයකින් සැරසී සිටී. දුන්නක් සහ ඊ තලයක් දරා සිටින මූර්තිද හමුවේ. ඇපලෝ  මාර්සියාස් සමඟ වාදන තරඟයකින් ජයග‍්‍රහණය කළ පසු මාර්සියාස් ගසක බැඳ හම ගසන ආකාරයත් එම වාදන තරඟයත් සිත්තරුන්ගේ හා මූර්ති ශිල්පීන්ගේ ප‍්‍රිය වූ මාතෘකා විය. ක‍්‍රි : පූ 350ට අයත් ප‍්‍රැක්සිටිලියානු ගුරු කුලයට අයත් උන්නත කැටයමක මෙම සංගීත තරඟය නිරූපණය වේ. එහි ලයර් වාද්‍යය ගෙන සන්සුන්ව ආසනාරූඨව සිටින ඇපලෝ සහ සිටගෙන වාදනයේ යෙදෙන මාර්සියාස් දැක්වේ. හෙලනිස්ටික යුගයේ පර්ගැමම් ගුරු කුලයට අයත් මාර්සියෑස්ගේ ජීව ප‍්‍රමාණ කිරි ගරුඩ මූර්තියක් හමු වී ඇත.
ඇතීනා පිළිබඳ පුරාවෘත්තය
                          ග‍්‍රීක මිත්‍යා ප‍්‍රබන්ධයන්හි එන දෙවඟනකි. ඇපලෝ මෙන් හිතකාමී හා සදාචාර පාර්ශවය නියෝජනය කරයි. ග‍්‍රීක මිත්‍යයට අනුව ඇය මහා දෙවි සියුස්ගේ හිසෙන් උත්පත්තිය ලබන්නේ ආයුධ සන්නද්ධවය. හෙල්ල, පළිහ, සහ ආරක්ෂක හිස්වැස්ම ඇයගේ වේශභූෂණ අතර අනිවාර්යෙන් දක්නට ලැබේ. ඇය අධ්‍යාපනය, කලාව, ශිල්ප හා රාජ්‍ය උත්සවවල චාරිත‍්‍ර පිළිබඳ දෙවඟන ලෙස  ද සැළකේ. ඇය මෙඩූසා මරා දැමීමට පර්සියස්ට උදව් කළ බැවින් සර්ප කේෂ සහිත මෙඩූසාගේ හිස පර්සියස් විසින් ඇයට පරිත්‍යාග කළ බව පැවසේ.  පැරණි කලා නිර්මාණවල එළු සමින් කළ ඇතීනාගේ ‘‘ ඊජිස් ’’ යනුවෙන් හැඳින්වෙන සර්ප රූපයෙන් වැඩ දැමු වස්ත‍්‍රයේ මෙඩූසාගේ හිසද විය. පසුව එය ඇයගේ පළිහට එක්විය. ඇය සටන් කරතැයි පැවසෙන්නේ සාධාරණය සඳහා පමණි. ඇය ඇතෑන්ස් නගරයේ ආරක්ෂඛ දේවතාවිය වන අතර පාතිනොන් යනු ඇයගේ දෙවොලයි. ඇය කන්‍යා දෙවඟනකි. බොහෝ දෙවිවරු ඇය හා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටීබව කියවේ. නූල් කැටීම, රෙදි වියමන, ආදී ගෘහස්ථ කර්මාන්තයන්හි අධිගෘහිත දෙවඟන ඇයයි. බටනළාවද ඇගේ නිර්මාණයකි.  ග‍්‍රීක කුඹලි ශිල්පීන් විසින් ඇතීනාගේ උපත දක්වා සිතුවම් කරන ලද ඇම්පෝරා බඳුන් දක්නට ලැබේ. ක‍්‍රී:පූ 530-515ට අයත් ප්සියාක්ස්ගේ ‘‘එ් වර්ගයේ’’ ද්වීභාෂාමය ඇටිකානු ඇම්පොරා බඳුනක කළු රූප ශිල්පයට අනුව ඇඳි සිතුවම තුළ අශ්ව රථයක් සමඟ හෙරක්ලීස් සහ ඇතීනා දෙවඟන දක්වා ඇති මෙහි අශ්වයින්ගේ පාද අතර ‘‘හිප්ප්‍රොක‍්‍රට්ස් කලෝස්’’ ලෙසින්  ලෙසින් සඳහන්වන පේ‍්‍රම අභිලේඛනයක්ද දක්නට ලැබේ. ඇතීනා දෙවඟන නිරූපණය කරන බර්ලින් සිතුවම් ශිල්පියාගේ ‘‘ඒ වර්ගයේ ’’ ඇම්පෝරා බඳුනක්ද බ්‍්‍රගෝස් විසින් සිතුවම් කළ ලෙකිතොස් බඳුනක්ද ,ක‍්‍රි:පූ 525-500 ට අයත් පැනතනයික් ත්‍යාග ඇම්පෝරා බඳුනක ඇතීනා දෙවඟනගේ රුව සහිත සිතුවම්  හමුවී තිබේ.
හෙරක්ලිස්ගේ  පුරාවෘත්තය
                             ග‍්‍රීකයන් අතර හෙරක්ලීක්ස් වශයෙන් ප‍්‍රචලිත ඔහු අසහාය කාය ශක්තියකින් යුත් ධෛර්ය සම්පන්න චරිතයක් ලෙස ගෞරවයට  පාත‍්‍ර වූවෙකි. සම්භාව්‍යය යුගයේ මෙන්ම පසුකාලීනව යුගයන්හි විසු කලාකරුවන්ද සිය නිර්මාණ සඳහා බෙහෙවින් උපයෝගි කර ගත් තේමාවක් විය. ඔහු විසින් සිදු කළ වීර වික‍්‍රමාන්විත ක‍්‍රම දොළොහක් පිළිබඳව කලාකරුවන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත. එම දුෂ්කර ක‍්‍රියා ඔහු වෙත පවරනු ලැබූයේ යුරිස්තියස් රජුය. අතිශය භයංකර සත්වයන් බොහෝ  සංඛ්‍යාවක් මෙලොවෙන් තුරන් කොට මනුෂ්‍ය වර්ගයාට ජීවිත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේ හේතුවෙන් සෙසු මිත්‍ය වීරයන් අතුරින් පුජනීය ස්ථානයක් හිමිකර ගැනීමට ඔහුට හැකි විය යුතුය. ජනයාගේ ආරක්ෂකයාගේ ලෙසත් නගර මුර කරන්නා ලෙසත් සලකා ග‍්‍රීකයෝ ඔහුට වන්දනාමාන කළහ. ඔහුගේ මව මනුෂ්‍යය ස්ත‍්‍රියක් වූ අල්ක්මිනා වන අතර පියා සීයුස් හෙවත් ජුපිටර් විය. අල්ක්මිනාගේ ස්වාමි පුරුෂයා වන ඇම්ප‍්‍රිටියෝන් නොමැති අවස්ථාවක සියුස් ඇය හා විසීමේ ප‍්‍රතිථලයක් ලෙස ඇය නිවුන් දරු දෙදෙනෙකු බිහි කළ අතර හර්කියුලිස් හෙවත් හෙරක්ලීස් ඉන් එක් දරුවෙකි. මෙම හේතුව නිසා ඔහුට ජීවිත කාලය පුරාම සියුස්ගේ බිරිඳ වූ හේරාගේ රෝෂයට ලක්වීමට සිදුවිය. මරණයෙන් පසු ඔහු  ඔහු දේවාත්වරෝපණය කොට ඔලිම්පියානු දේව මණ්ඩලයට එක් වීමේ වරම මහා දෙවි සියුස්ගෙන් ලැබුණු අතර දිව්‍ය රථයකින් ඔහු  ඔලිම්පස් කන්ද බලා ගෙන යාමේ කාර්ය ඔහුගේ ආරක්ෂක දෙවඟන වූ ඇතීනා හෙවත් මිනර්වාට පැවරිණි. හර්කියුලිස්ගේ මරණය චිත‍්‍ර මූර්ති නාට්‍ය ඇතූළු බොහෝ මාධ්‍යන්ගෙන් නිරූපණය කොට ඇත. ක‍්‍රි:පූ 500ට අයත් හෙරක්ලීස් සහ ඩෙල්පියානු ත‍්‍රිපාදය නිරූපණය කරමින් සික්ස්ගේ ශිල්ප ක‍්‍රමයට සැරසූ ඇටිකානු ලෙකිතොස් බඳුනක්, ක‍්‍රි:පූ 530- 515 ට අයත් අයත් ප්සියාස්ගේ ද්වීභාෂාමය ඇටිකානු ඇම්පෝරා බඳුනක කළු රූප ශිල්පයට අනුව ඇඳි සිතුවම තුළ අශ්ව රථයක් සමඟ හෙරක්ලීස් සහ ඇතීනා දෙවඟන දක්වා ඇති මෙහි අශ්වයන්ගේ පාද අතර ‘‘හිප්පොක‍්‍රෙටිස් කලොස්’’ ලෙසින් සඳහන් වන පේ‍්‍රමා අභිලේඛනයක් දක්නට ලැබේ.ක‍්‍රි :පූ 500ට අයත් යුෆෝනියස් කුඹලි ශිල්පියා විසින් අත්සන් තබා ඇති ඔනෙසිමස් සිතුවම් කළ සේ සැළකෙන ඇටිකානු රතු රූප කයිලික්ස් බඳුනක පතුලේ එම බඳුන හෙරක්ලීස් වෙත පූජා කරමින් ලියන ලද එට්රස්කානු පූජාමය ග‍්‍රැෆිටෝ අභිලේඛනයක් ද හමු වී ඇත.
ගැනිමිඞ් පිළිබඳ පුරාවෘත්තය
                           ජනප‍්‍රවාදයට අනුව ට්‍රෝයි රජු ට්‍රොස්ගේ පුත‍්‍රයාය. එඬේරෙකු වූ ගැනිමිඞ්ගේ අසමාන රූපශ‍්‍රීය හේතුවෙන් ජුපිටර්ගේ ආලයට ගොදුරු වූවෙකි. සමලිංගික පේ‍්‍රමය පිළිබඳ ව අනාවරණය වන අවස්ථාවක් ලෙස මෙය සැලකේ.  ඕවිඞ්ට අනුව ජුපිටර් රාජාලියෙකුගේ වේශයෙන් පැමිණ එම තරුණයා ඔලිම්පස් කන්දට රැුගෙනගොස් සිය මදුවිත බඳුන දරා සිටින්නාගේ කාර්යය ඔහුට පැවරීය. කබායක් හැඳ ප‍්‍රිජියානු කැප් තොප්පියක් පැළඳ රාජාලියෙක් සුනඛයෙක් සමඟ සිට්න ගැනිමිඞ් පසුකාලීන ග‍්‍රීක මැටි බඳුන්වල අන්තර්ගත විය. පුනරුදය සහ පසු යුගවල රාජාලියා විසින් රැුගෙන යන ගැනිමිඞ් ඇතැම්විට රාජාලියාගේ පිහාටුවක් වැළඳ සිටින අයරින් හෝ විරුද්ධත්වය ප‍්‍රකාශ කරන අයුරින් නිරූපිතය. ඔහු වයින් බඳුනක් අතැතිව සිටින අයුරු හෝ ජුපිටර්ගේ වයින් බඳුන දරා සිටි හෙබේගෙන් එය ලබා ගන්නා ආකාරය දක්වන සිතුවම්ද දක්නට ලැබේ. පසුබිමේ භෝජන සංග‍්‍රහයක් දක්නට ලැබේ.
මීඩියා පිළිබඳ පුරාවෘත්තය
                           ඇය ග‍්‍රීක මිත්‍යයයේ එන කාන්තාවකි. කොල්චිස්හි රජු ඊටිස්ගේ දියණිය වූ ඇය මායා කාරියක ලෙස ප‍්‍රකටය. කොල්චිස් රාජ්‍යයට උරුමකම් කීම සඳහා රන් බැටළු සම සොයා එන ජේසන් කෙරෙහි ආසක්ත වන ඇය එය ලබා ගැනීම සඳහා ඔහුට උදවු කරයි. රජු ජේසන්ට ඉලක්ක තුනක් සපුරාලිය යුතු බව පවසයි. ගින්දර ආශ්වාස ප‍්‍රාශ්වාස කරන ගවයන්   බැඳි විය ගහකින් කෙතක් සී සෑම එක් කාර්යයකි. ජේසන්ට සිරුරේ ආලේප කර ගැනීමට මීඩියා ලබා දෙන ආලේපය හේතුවෙන් ගින්නෙන් බේරී සී සෑමට ඔහුට හැකි වේ.  දෙවන කාර්යය වන්නේ සී සෑ කෙතෙහි මකර දත් වැපිරීමයි. මකර දත් හමුදාවක් බවට පත්වේ.ජේසන් මීඩියාගේ උපදෙස් අනුව ඔවුන් වෙත විශාල ගලක් දමයි. එය කෙසේ කුමන දෙසින් ආවේදැයි නොදත් ඔවුන් එකිනෙකාට පහර දීමෙන් විනාශයට පත්වේ. අවසානයේ රන් බැටළු හම ආරක්ෂා කරන නොනිදන මකරා සමග ෂටන් කොට එය ලබා ගන්නා ලෙස අණ ලැබේ. ෙඖෂධ පැළෑටි මිශ‍්‍රණයෙන් මීඩියා විසින් සකසා ගන්නා මත්පැන් වර්ගයක් පානය පිණිස දීමෙන් මකරා නින්දට වැටේ. මීඩියා මෙසේ ජේසන්ට උපකාර වන්නේ අවසානයේ තමන් රැුගෙන ගොස් විවාහ කරගන්නා පොරොන්දුව මතය.ජේසන්ද ඈ විවාහ කර ගන්නා අතර ඈ ඔහුට දාව දරු දෙදෙනෙකු ලබයි. කොරින්ත්හි රජු ක‍්‍රියෝන් තම දියණිය වූ ග්ලෞකේ ජේසන්ට විවාහ කර දීමට කැමැත්ත ඵල කිරීම නිසා ජේසන් ඊට එකඟ වීම දරාගත නොහැකි වූ මීඩියා ජේසන්ගෙන් පළි ගැනීමට සිය දරු දෙදෙනා මරා ඇතැන්සයට පලා යයි. ඇය පලා ගියේ තම සීයා වූ හෙලයොස් හෙවත් සූර්ය දිව්‍යය රාජයා විසින් එවන ලද මකරුන් බැඳි රියකින් බව කිය වේ.
                     මීඩියා විසින් කරන්නට යෙදුණු  බොහෝ ඉන්ද්‍රජාලික ක‍්‍රියා සිත්තරුන් විසින් සිතුවම් කිරීමට ප‍්‍රිය කළ බවක් පෙනේ. ක‍්‍රී:පූ 330 ට පමණ අයත් රතු රූප ඇම්පෝරා බඳුනක මීඩියා සිය පුත‍්‍රයා ඝාතනය කරනු දක්නට ලැබේ. පැරණි කලාවේ ඇය ම්ලේඡ්ච ස්ත‍්‍රියක් වශයෙන් සැලකීමට කලාකරුවන් පෙළඹුණු නමුත් නූතන කලා කරුවන් දැඩි සානුකම්පිත දෘෂ්ටියකින් ඇය දෙස බැලූ බවත් පෙනෙන්ට තිබේ. ඇයගේ අභ්‍යන්තර ආවේග ප‍්‍රකට කිරීමටත්, පුරුෂ මූලික සමාජයක ස්ත‍්‍රිය සමාජ අසාධාරණයට ලක්වන අයුරු විවේචනය කිරීමටත් නාරිද්ෙවිශයෙන් පෙළෙන්නන් අපහසුතාවයට පත් කිරීමටත් භාවිත කෙරුණි.
මෙඩූසා  පිළිබඳ පුරාවෘත්තය
                      ග‍්‍රික මිත්‍යයට අනුව ගොගන් සහෝදරියන් තිදෙනාගෙන් එක් අයෙකි. ඉමහත් භයානක පෙනුමකින් යුතු මොවුන්ගේ නෙත ගැටුණු කෙනෙකු එකෙනෙහිම පාෂාණ බවට පත් වෙතැයි විශ්වාස කළහ. එළියට නෙරා ආ ඇස් මුඛය දෙපසින් මතු වූ දළ හා සර්ප කේශ සහිත හිසක් ඇති ඔවුන් දිව මුඛයෙන් පිත තට දිගුකරගෙන සිටී.මෙඩූසාගේ හිස පර්සියස් විසින් කපා දැමූවද දුටූ කෙනෙකු පාෂාණ බවට පත්වීමේ හැකියාව එසේ සිරුරින් වෙන් වූ හිසටද වූ බව කියවේ. මේ හේතුවෙන් යුධ භටයන්ගේ පළිස්වල සහ වෙනත් සන්නාහවලට ආරක්ෂක මන්ත‍්‍රයක් සේ සළකා ඇගේ රුව නිරූපණය කොට ඇත. පර්සියස්ගේ ආරක්ෂක දෙවගන වන මිනර්වා එළු සමකින් නිම කොට ඇති ඇගේ වස්ත‍්‍රයේ ගෝගන් හිසක් සළකුණු කොට තිබු බව පැවසේ. ග‍්‍රික මැටි බඳුන් සිතුවම්වලද මෙය නිරූපණය වේ.
ඩනයි පිළිබඳ පුරාවෘත්තය
                          ග‍්‍රීක මිත්‍යයට අනුව ඩනයි අගොස්හී රජු ඇක‍්‍රීසියස්ගේ දියණියයි. දියණියට ලැබෙන පුත‍්‍රයෙ මරා දමන බවට පළ වූ අනාවැකියක් නිසා රජු ඈ කිසිවෙකුට ළගා විය නොහැකි ලෙස ලෝහ ස්ථම්භයක සිර කොට තබා ඇත. එහෙත් රන් වැස්සක් මෙන් පැමිණි ජුපිටර් හා එක්වීමෙන්  ඕ පුතෙකු බිහි කළාය.පර්සියස් නම් වූ ඔහු අතින් තම සීයා මරණයට පත් වන්නේ අහම්භයකින් විසි කළ කවපෙත්තක් වැදීමෙනි. ක‍්‍රි:පූ 490-470 අතර කාලයට අයත් රතු රූප ග‍්‍රීක කාටර් බඳුනක මෙම සිදුවීම දැක්ෙවි. නිරුවත් කාන්තා රූපය නිරූපණයට ප‍්‍රිය වූ පුනරුද ශිල්පීන්ටද මෙය මනා වාස්තුවිෂයක් විය.කවිච්චියක හෝ බිම දිගා වී අහස දෙස නෙත් යොමා බලාපොරොත්තු සහගතව සිටින ඩනයිගේ නිරුවත් රූපය සහ ඇය අසළ සිටින මහලූ සේවිකාව බොහෝ විට දැක්වේ. වළාකුළු අතරින් ස්නර්ණමය වැස්සක් හෝ ආලෝකයක් සහිතව ඇතැම් විට කාසි හෝ වැටෙන අයුරු නිරූපණය වේ. ඩනයි පවිත‍්‍රතාවයේ සංකේතය ලෙස පුරාණ ග‍්‍රීක වැසියන් විසින් සළකනු ලැබීය.
ඩයොමිඞීස්  පිලිබඳ පුරාවෘත්තය
                       මොහුද ග‍්‍රීක මිත්‍යයයේ එන වීරයෙකි. ටෝජ සංග‍්‍රාමයේ සටන් කළ නිර්භීත රණ ශූරයෙකු වන අතර ඔහු සහ එ්ජැක්ස් සමව ආකෙයියානු රණ ශූරයන් අතරින් දෙවන ස්ථානයේ තැබිය හැකි බව ඉලිය්හි සඳහන් වේ. මව් පාර්ශවයෙන් ලද උරුමය අනුව ඔහු පසුව ආගෝස්හි රජ බවට පත්විය. ට්‍රෝජ සංග‍්‍රාමයට සහභාගී වූවන් අතරින් වැඩිම නෞකා බලඇණියක් සමග සහභාගී වූවන්ගෙන් තුන්වන ස්ථානය හිමි වන්නේ ඔහුටය. එයට නෞකා අසූවක් විය. ඉලියඞ් ග‍්‍රන්ථයේ ප‍්‍රධාන චරිතයක් වන ඔහු තුළ ග‍්‍රීක වීරයන්ගේ අභාග්‍යයට හේ්තු වූ දැඩි ගර්වය පිහිටා නොතිබීම විශේෂ කාරණයක් සේ සැළකේ. අයෝමය දේහයක් සහිත ඩයොමිඞීස්ගේ ශිලා මූර්තියක් ග‍්‍රීසියෙන් හමු වී ඇත. රැුළි සහිත කෙටි කෙස් වැටියකින් සමන්විත නග්න මූර්තියක් වන එය ක‍්‍රි:පූ 430 අයත් වේ යැයි සැලකේ. ඩයෝමිඩිස් ඇපල්ලෝට පහර දෙන අයුරු ග‍්‍රීක රතු රූප මැටි බ\ුනකද සිත්තමිව ඇත.
සියුස් පිළිබඳ පුරාවෘත්තය
                         ඔලිම්පියානු දේව මණ්ඩලයේ ප‍්‍රධාන දෙවියා ලෙසත් දෙවියන් සහ මිනිසුන්ගේ පාලකයා ලෙසත් පිළිගැනේ. අකුණු සැරෙන් ප‍්‍රතිමල්ලවයන් විනාශ කරන  ඔහු දුර්වල පක්ෂයට පිහිට වන බවද විශ්වාස කෙරේ.  ග‍්‍රීසියේ ඔලිම්පියාවේ සියුස් දෙවොල ඔහු වෙනුවෙන් ඉදිව ඇති ප‍්‍රධාන පූජ්‍යස්ථානය වන අතර පීඩියාස් නම් මූර්ති ශිල්පියා විසින් රනින් හා ඇත්දළවලින් නිම වූ සියුස් ප‍්‍රතිමාව   පැරණි ලෝකයේ පුදුම අතුරින් එකක් ලෙස සැළකිණි. සිය බැල්මකින් ඔලිම්පස් කන්ද සෙලවීමට හැකි දෙවියෙකු වුවද කලාකරුවන් ඔහු නිරූපණය කළේ නිමක් නැති පෙම් සබඳතාවල පැටලෙමින් සිට්න්නෙකු ලෙසය. රූපාන්තරණය වෙමින් දෙවඟනන් අප්සරාවන් මෙන්ම මිනිස් කතුන්ද වසඟයට ගන්නා සියුස් සහ ඔහු පසුපස ඊර්ෂයාවෙන් හඹා යන් හේරා හෙවත් ජුනෝද සිත්තරුන්ට ශුංගාරාත්මක තේමා සැපයීය. අයිඩා කන්දේදි සියුස්ට බිලි පූජා පිරිනමන ආකාරයත් හේරා සහ සියුස් ආලයෙන් වෙළි සිටින ආකාරයත් ඔහු විවිධ වෙස් ගෙන ඩනයි,ලීඩා,යුරෝපා සමග සිට්න අයුරුද සිත්තරුන්ට විෂය විය.    
ස්ෆින්ක්ස්  පිළිබඳ පුරාවෘත්තය
                            පැරණි මිසරයේ හෙවත් ඊජිප්තු කලාවේ නිරූපණය වූ මෙහි අභිප‍්‍රාය වූයේ බලය හා සුපරික්ෂාකාරී බව සංකේතවත් කිරීමයි. පැරණි මිසර දේවස්ථානවලට ප‍්‍රවේශ වන මාර්ගය දෙපස මානවයෙකුගේ බඳු හිසක් සහ සිංහයකුගේ බª ශරීරයක් සහිත ස්ෆින්ක්ස් මූර්ති පෙළක් ස්ථාපනය කොට පැවතුණි. සම්භාව්‍යය ග‍්‍රීසියේදී මෙම ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙන්ස් වී ස්ෆින්ක්ස් මූර්තියට කාන්තාවකගේ හිසක් සහ පියයුරුද රාජාලියෙතුගේ බඳු පියාපත්ද සර්ප වලිගයක්ද එක් විය. පුනරුද කලාව හා පසු කාලීන කලාවන්ද එ් ලක්ෂණ එලෙසින්ම පවත්වාගෙන ගියහ. ග‍්‍රීකයන් ස්ින්ක්ස් සැලකුවේ ගුප්ත ප‍්‍රඥාවේ කෝෂ්ඪාගාරයක් ලෙසයි. මේ සම්බන්ධ වැදගත්ම පුවත හමුවන්නේ ඊඩපස්ට් පුරාවෘත්තයේය.ස්ෆින්ක්ස් ප්‍රෙහේළිකාව විසඳීම තිබ්ස් නගරවාසීන් මුහුණ පෑ ප‍්‍රධාන ගැටළුවයි. සතර පයින් ඇවිද , නැවත දෙපයින් තුන් පයින් ඇවිදින්නේ කවරෙක්ද යනු එම ප්‍රෙහේළිකාවයි. මෙයට පිළිතුරු දී ගත නොහැකි වු විට මගියාගේ උගුරු දණ්ඩ මිරිකා මරණයට පත් කරන ලදි. එම ස්ථානය පසුකර යාමට පැමිණි ඊඩිපස්ට් පිළිතුර මිනිසා බව පැවසීය. එවිට ස්ෆින්ක්ස් විනාශයට පත් විය. ඊඩිපස්ට් ස්ෆින්ක්ස්ට පිළිතුරු දෙන ආකාරය කලාකරුවන්ට ජනප‍්‍රිය තේමාවක් විය. එය විවිධ අයුරින් නිරූපනය වේ. ග‍්‍රීක මැටි බඳුන්වලටද විෂය වූ මෙය පුනරුදය හා පසු කාලීන යුගයන්වලද දක්නට ලැබිණි.

ග‍්‍රීක මිත්‍යා කථා ඇසුරින් වර්ධනය වූ මැටි බඳුන් සිතුවම් කලාව
                                      මිත්‍යා කථා තුළින් වර්ධනය වූ වැදගත්ම කලා නිර්මාණය වන්නේ ග‍්‍රීක මැටි බඳුන් බැවින් මෙහිදී එ් හා ආශ‍්‍රිත කලා නිර්මාණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම අපේක්ෂා කෙරේ. පුරාවිද්‍යාත්මක අධ්‍යනයන් සඳහා පුරාණ ඉතිහාසයෙන් අපට ලැබී ඇති ද්‍රව්‍යාත්මක සාධක අතුරින් මිනිසා මැටියෙන් තැනූ නිශ්පාදන හඳුනාගත හැකිය. මැටි බඳුන් නිර්මාණයන් අධ්‍යනය සඳහා විවෘත්ත වූ  විශිෂ්ටතම ශිෂ්ටාචාරය ග‍්‍රීසිය වන අතර ග‍්‍රීසිය තුළත් ඉන් පිටතත් ග‍්‍රීකවරුන් විසූ  ඕනෑම ස්ථානයකත් හමුවන මැටියෙන් තැනූ බඳුන් දහස් ගණනක් හමු වී අති අතර මේවා මැටි ඵලකවල සිට විවිධ දෑ ගබඩා කිරීම සඳහා යොදා ගත් බඳුන් , අවමඟුල් කටයුතුවලදී යොදා ගත් බඳුන් ලෙස යොදාගෙන ඇති බව පෙනේ.
                                     මැටි බඳුන් සිතුවම් ක‍්‍රමයේ වර්ධනයත් සමඟම ඇටිකානු කුඹල් ශිල්පීන්ගේ ප‍්‍රධාන ලක්ෂණය වූයේ ඔවුන් තම මැටි බඳුන් අලංකාර කිරීමට යොදා ගත් ප‍්‍රධානම තේමාව මිනිස් රූප වීමයි. මැටි බඳුන් විශේෂයෙන්ම ප‍්‍රායෝගික අවශ්‍යතාවයන් අරමුණු කරගෙන නිපද වුවද ඒවා පුරාණ ජ්‍යාමිතික ශෛලිය අතහැ දමූ අවධියේ සිටම පුරා කථාවන් පිළිඹිබු කළ දර්ශනයන්ගෙන් සැරසීම සිදු විය. මෙය සිදු වන්නට ඇත්තේ පෙර තිබූ සැරසිලි ක‍්‍රමයන්ට වවඩා මිනිස් රූප යොදාගෙන කරන මෙම සැරසිලි ක‍්‍රමයට ශිල්පියාගේ තිබූ කැමැත්ත නිසා යැයි සිතිය හැකිය. ක‍්‍රි:පූ 580දී පමණ ඇටිකානු මැටි බඳුන් ශිල්පයේ නව ප‍්‍රවර්ධනයක් ඇති වූ අතර එය මැටි බඳුන් සරසන ශිල්පයක් නොව කථාවස්තුවක් චිත‍්‍රයට නංවන සහ සංදර්ශක (භ්රර්එසඩැ ්බා ඍැචරුිැබඒඑසඩැ  * කලා ශිල්පයක් බවට පත් විය. හතරවන සියවසේ මැද භාගය දක්වාම මූලික තේමා සමූහ දෙකක් කුඹල් ශිල්පය අවුරා බල පැවැත්වුණු අතර මේවා පළමුව කළු රූප ශෛලිය අනුවත් ඉන් පසුව රතු රූප ශෛලිය අනුවත් බඳුන් සැරසීමට භාවිත විය. මෙම මුලික තේමාවන්ගෙන් එකක් පුරා කථා ඇසුරින් ග‍්‍රීක දෙවිවරුන්ගේ සහ වීරයන්ගේ කටයුතු නිරූපණය කළ අතර අනෙක මිනිසාගේ දෛනික කටයුතු සිතුවමට නංවමින් අලංකාර කරන ලදි. මෙසේ මිත්‍යා කථාවන් ආශ‍්‍රයෙන් බඳුන් සිතුවම්කරණයට පෙළඹුණ අතර කුඩා කෝණාකාර රටාවන්ගෙන් පුරවා තිබූ පටු තීරු වෙනුවට වක‍්‍රාකාර රේඛා සහිත සැරසිලි භාවිත කළ අතර දෛනික ජීවිතයේ සිතුවම් ඇඳීම වෙනුවට නිශ්චිත වූ මිත්‍යා කථාවක් පිළිබ්ඹු කිරීමට පටන් ගත්හ.
                                      උදාහරණයක් වශයෙන් හෙරක්ලීස් නම් වීරයා සහ නෙස්සොස් (භැිිදි* නම් සෙන්ටෝවරයා මරණයට පත් කිරීමට සැරසෙන අවස්ථාවක් ක‍්‍රි:පූ 660 දී සොහොන් කොතක් මෙන් භාවිත කළ අටිකානු ඇම්පෝරා බඳුනක නිරූපණය කොට ඇත.මෙහි මෙම මිත්‍යා කථාව සමස්තරව බඳුනේ කඳෙහි සිතුවම් කොට ඇත. නෙස්සොස් (භැිිදි* නම් සෙන්ටෝවරයා ඔරු පදින්නෙකු විය. තම රැුකියාව කරන අතරතුරදී ඔහු හෙරක්ලීස්ගේ බිරිඳක වූ ඩෙයනෙයිරා තම ඔරුවෙන් එතෙර කිරීමට පොරොන්දු වූ අතර ගඟ මැදදී ඇයගේ රූපයට වශී වී ඇයව ¥ෂණය කිරිමට උත්සහ ගත් විට හෙරක්ලීස් නෙස්සොස්ගේ ක‍්‍රීයාවට විරුද්ධව ක‍්‍රියා කරන ලදි. මෙම ඉදිරිපත් කිරීමෙන් හෙරක්ලීස් තම කඩුවෙන් සෙන්ටොවරයාට පහර දෙනවාත් සමඟම සෙන්ටොවරයා ඇඳ වැටෙන ආකාරයත් වීරයාගේ අනෙක් පසින් ඩෙයනෙයිරා රූපයේ දකුණු පසින් අශ්වයින් හතර දෙකෙු යෙදු අස්රියේ රැුහැන් අල්ලාගෙන ලැජ්ජාශීලිව සිටින අයුරුත් පිළීබිඹු කොට ඇත. හෙරක්ලීස් හා නේසස් ඉතා සැලකිලිමත් ලෙස වෙන් කළ ඇති අතර හෙරක්ලීස් ඉතා පිරිසිදු හා කඩිසර ස්වරූපයෙන් පෙන්වා ඇත. ඔහු හොඳින් කැපූ රුවුලක් සහ මනාව සැකසු කෙස් වැටියකින් යුක්තව දක්වා ඇති අතර නෙස්සොස් අපිරිසිදු පෙනුමකින් යුක්තව බලාපොරොත්තු රහිත බවකින් නිරූපණය කරයි. හැඟීම් දනවන විශාල දෑස්වලින් යුක්ත පෙනුම හෙරක්ලීස්ගේ දෙඅත් දෙපා හා ඩෙයනෙයිරාගේ සාය පිට මායිම් සහිතව දක්වා ඇත. කලා ශිල්පියා ශක්තිමත් වීරයා හා ඇඳ වැටෙන මෘගයා අතර වෙනසත් අශ්වයන් අතර වෙනසත් මනාව දක්වා ඇති අතර තම කථාව ඉතා මැනවින් රූප ආශ‍්‍රයෙන් පිළිබිඹු කොට ඇත.
                             තවද හත්වන සියවසේ මැද භාගයට අයත් තවත් තවත් ඇටිකානු කලා ශිල්පියෙකු බඳුනේ කඳ කොටසේ පර්සියස් හා ගෝගොන්වරියන් නිරූපණය කළ සිතුවමට අනුව ‘‘මෙඩූසා’’ නමින් හැඳින්වූ  මහා පරිමාණයෙන් යුතු ඇටිකානු බඳුනද උදාහරණයක් ලෙස ගිණිය හැකිය.එහි හඹා යන ගෝගන්වරියන් දෙදෙනා සහ වම් පසින් හිස සිඳ දැමීම නිසා ඇඳ වැටෙන ඔවුන්ගේ මෙඩූසා සොයුරිය දැකිය හැකිය. පර්සියස් ලූහුබඳින මෙඩුසාගේ නොමැරෙන සුළු සොයුරියන් දෙදෙනා ද දක්වා තිබේ. පලා යන  පර්සියස් වැසෙන ලෙසින් ඇතීනාගේ සිහින් සිරුර ගොගොන්වරියන් හා පර්සියස් අතර දක්නට ලැබේ. හිසින් වෙන් වූ මෙඩූසාගේ සිරුර රූපයේ වම් අන්තයේ තිරස්ව සිතුවමට අයත්වන සිද්ධි මාලාවට ඔබ්බෙන් වැටී ඇත.
                            එසේම මෙම ඇම්පෝරා බඳුනේ  කරෙහි දැක්වෙන්නේ ඔඩිසියස් හා එකැස් යෝධයෙකු වන පොලිෆීමස්ගේ මිත්‍යා කථාවේ සිදුවීමකි. ට්‍රෝජන් යුද්ධයේ වීරයෙකු වන ඔඩිසියස් නැවත යන ගමනේදී එකැස් යෝධයෙකුගේ ගුහාවේ සිරකරුවෙකු බවට පත් වේ. සයික්ලොප්වරයා තම ගුහාවේ දොරටුව විශාල ගල් පර්වතයකින් වසා දමා ඔඩිසියස්ගේ මින්සුන් දෙදෙනා බැගින් ආහාරය පිණිස ගන්නා ලදි. මෙම පර්වතය සෙලවීම තමාට සහ තම සගයන්ට කළ නොහැකි නිසා එය යෝධයාගේ උදවුවෙන්ම කරවාගත යුතු බවත් ඔහුට නොපෙනී ගුහාවෙන් පලා යා යුතු බවත් පසක් කර ගන්නා ඔඩිසියස් එයට මගක් සොයයි. ඔහුගේ සැලසුමේ පළමු අධියර ලෙස සයික්ලොප්වරයා බීමත් කරවන අතර දෙවැන්න ලෙසින් ඔහුගේ ඇස අන්ධ කරයි. මෙම කථාව පැහැදිලි කිරිම සඳහා පේ‍්‍රක්ෂකයන්ට පහසුවෙනම අවබෝධ කර ගත හැකි ඇස අන්ධ කරන ජවනිකාව සිතුවමට නගා ඇත.
                           සමස්තයක් ලෙස බැලූවහොත් මෙවැනි සිතුවම් සහිත මැටි බඳුන් සිය ගණනක් හමුවන අතර ඒවායේ සිතුවම්වල රූප පැතලි ස්වරූපයක් පෙන්වයි. සිතුවම ඉතාම පැහැදිලිය.ඒවායේ ක‍්‍රියාවන් හා හැඟීම් වඩා ළගන්නා ආකාරයකින් ඉදිරිපත් කිරිමට කලා ශිල්පියාට හැකි වි ඇත. ශරීරය පිළිබඳ විස්තර නියමානුකූල බවට පත්කොට ඇති අතර හිස් බොහෝ  විට පාර්ශව දර්ශී ලෙසද ඇඳ ඇත. සිරුරේ අවයව වල සමබරතාවයද මැනවින් දක්වා ඇත.
නිගමනය
                                        කෙසේ වෙතත් මෙහිදී පැහැදිලි වන්නේ ග‍්‍රීක මිත්‍යා කථාවන් වූ කලී එහි බිහි වූ සමස්ත කලාවන්ට තේමාවන් සපයා දුන් උල්පතක් බවය. ඒවා ඉතාම අභව්‍යය සිදුවිම් තුළින් ගහණ වූ දේවත්වය හා වීරත්වය හුවා දැක්වීමට ගොතන ලද කථා වුවද ග‍්‍රීක කලා ශිල්පීන්ගේ ජනප‍්‍රිය තේමාවන් බවට ඒවා පත්ව තිබෙන ආකාරය මෙහිදී පෙනී යයි. එය සම්භාව්‍යය යුගයේ පමණක් නොව මධ්‍යතන හා පුනරුද සමයන්හීද එක ලෙසම ජනප‍්‍රිය විය. මෙම මිත්‍යා කථා පිළිබඳ පෙන්වන වැදගත්ම සාධකය ග‍්‍රීක මැටි බඳුන් කලාවේ සිතුවම් වන අතර එහිදී ශිල්පීන් බඳුන් සිතුවම් තුළින් මිථ්‍යා කථාවක් නිරූපණයට ගත් උත්සහය සහ එමගින් පේ‍්‍රක්ෂකයාට ලබා දීමට අපේක්ෂා කළ හැඟීම සහ දෘෂ්ටිය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මෙම සිතුවම් ශෛලිය සහ කථා වස්තුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව ප‍්‍රගුණවීමත්් සමඟම සිතුවම් ශිල්පීන්  ඔවුන්ගේ නව චින්තනය , නව අදහස් අත්හදා බැලීමේ කැමැත්ත, ඔවුන්ගේ ශාස්ත‍්‍රීය ඥනය ,එනම් එම පුරාවෘත්තය පිළිබඳව ඔවුන් දැන් සිටී විවිධ අනුවාදයන් සිතුවම් අනුසාරයෙන් හුවා දැක්වීමට තිබූ කැමැත්ත, හැකියාව පිළිබඳව මෙමගින් අණාවරණය වන බව  කිව  හැකිය,
                                     එසේම සමකාලීන සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හරයන්ද මෙම සිතුවම් තුළින් වටහා ගත හැකිය. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් එකල සමාජයේ භාවිත කළ සිරිත් විරිත්, ප‍්‍රිය සම්භාෂණ, ඇඳුම් පැළඳුම්,යාන වාහන ආදිය එම සිතුවම්වල අන්තර්ගතය. මිත්‍යා කථාව ඇඳ දැක්වීම මුඛ්‍ය පරමාර්ථය  වුවද ඒ තුළ ශිල්පියා දැනුවත්ව හෝ නොදැනුවත්ව එකල සමාජයේ අංග මෙම සිතුවම්වලට ඇතුළත් වීම නිසා  නුතන ඉතිහාසඥයන්ට, කලා කරුවන්ට, හා චින්තකයන්ට පුරාතන ග‍්‍රීක සමාජය පිළිබඳ ගොඩනගන සිතුවම  වඩාත් පැහැදිලි කර ගැනිමට අවස්ථාව හිමි වී ඇත. එම නිසා මෙම මිත්‍යා කථා ඇසුරින් සිදු වූ කලාවෙහි වර්ධනය කේෂේත‍්‍ර ගණනාවකින්  වැදගත් තොරතුරු නූතන සමාජයට හෙළි කරන බව නිගමනය කළ හැකිය.
                 

                           

Tuesday, February 3, 2015

නූතන සිංහල නවකතාවට උප සංස්කෘතීන් පසුබිම් කොට ගැනීමේ ප‍්‍රවණතාවය

නූතන සිංහල නවකතාවට පසුබිම සැකසීම
             19 වැනි සියවස වූ කලී සිංහල සාහිත්‍යය වංශයේ නව යුගයක් ලෙස සැලකිය හැකිය. ඉංග‍්‍රීසීන් පැමිණිමෙන් පසු සිංහල සාහිත්‍යය අපරදිග සාහිත්‍යය හා ගැටීමෙන් නියම විකාශනයකට ලක්වන බව මේ අවදියේ දක්නට ලැබේ. මෙයට පෙර පැවති භාරතීය සංස්කෘත හා ද්‍රවිඩ ආභාසයන් ලද සාහිත්‍යයෙන් මිදී සිංහල සාහිත්‍යය නවීන ස්වරූපයකින් හැඩ ගැසෙන්නට වූයේ ඉංග‍්‍රීසි භාෂාවේ මාර්ගයෙන් පැමිණි නොයෙක් බටහිර සාහිත්‍යාංගයන්ගෙන් ආභාසය ලැබීම නිසා බව එදිරිවීර සරත්චන්ද්‍රයන් මත පළ කරයි.
               සංස්කෘත සාහිත්‍යයෙන් හැකි තාක් සාරය උකහාගෙන පසු කාලයේ  පිපාසාවෙන් මෙන් මලානිකව ගිය සිංහල සාහිත්‍යයට බටහිර සාහිත්‍යයෙන් ලැබුණේ විවිධ රසයෙන් යුතු ප‍්‍රණිත ආහාරයකි. මේ මාර්ගයෙන් නව සම්ප‍්‍රදායන්ද, අමුතු සිද්ධාන්තද, වෙනස් ශෛලීන්ද පළමු වරට හැඳිනගත් පසු කාලීන ලාංකේය ලේඛකයන් ද  පැරණි සාහිත්‍යයෙන්   නොලත් විරූ රස වෛචිත‍්‍රයයක් අපරදිග සාහිත්‍යයෙන් ලැබුෙවිය. මෙයින් සිදු වූයේ සිංහල සාහිත්‍යයේ පුනර්ජීවනයකි. අතීත අවදිවල නොතිබුණු සාහිත්‍යාංග සිංහලයට පිවිසුණි. පැරණි කතුවරුන්ගේ දර්ශනයට හසු නොවූ ජීවිතයේ එක්තරා පක්ෂයන් නවින ලේඛකයන්ගේ සැලකිල්ලට භාජනය විය. නොයෙක් රචනා ක‍්‍රම අත්හදා බැලීමට සිංහල භාෂාව අභ්‍යාස භූමියක් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සිංහල සාහිත්‍යය පොදු ජනයාගේ සාහිත්‍යයක් බවට පෙරළිණි. සිංහල නවකතාව බිහිවීමට පදනම සැකසූයේද මෙකල සිදු වූ සාහිත්‍යයේ පමණක් නොව සමස්ත සමාජයේම සිදු වූ විපර්යාසයන්ය. පියදාස සිරිසේන, සයිමන් ද සිල්වා, ඩබ්.ඒ සිල්වා, ආදීන් සිංහල කවකතාවේ වර්ධනයට අවශ්‍ය මූලික පියවර තැබූයේ ප‍්‍රබන්ධ කිහිපයක් රචනා කරමිනි. ඉන් පසු දශක කිහිපයක් ගතවත්ම ‘‘නවකතාව ’’ නමි සාහිත්‍යාංගය එදා මෙදා තුර පොදු පාඨක ජනතාවගේ අවධානය දිනාගත් මාධ්‍යක් බවට පත් විය. විවිධ නිර්මාණකරුවන් අතින් හැඩ වැඩ වී විකාශයට පත් වූ සිංහල නව කතාව නොයෙක් ආකෘතීන් , භාෂා ශෛලීන්, ආඛ්‍යාන රීතීන්, වස්තු විෂයන් හා තේමාවන් ආදී නොයෙකුත් සංකල්පයන්ගෙන් සුමට වෙමින් නව අත්හදා බැලීම්වලට ලක් වෙමින් අද දක්වා විකාශය වෙමින් පවතින්නේය.
                    නවකතාව නම් සාහිත්‍යාංගය පැහැදිලි කිරීමට හා එම පදයට නිර්වචන දීමට මෙතෙක් දරා ඇති ප‍්‍රයත්න සම්පූර්ණයෙන්ම සාර්ථක වී නොමැති බව ඒ ඒ උගතුන් විසින්ම පිළීගෙන ඇත. එසේ වීමට හේතුව මෙම සාහිත්‍යාංගය ඒ තරම්ම විවිධ ලක්ෂණයන්ගෙන් යුක්ත වීමයි. කිසියම් පූර්ව නිශ්චිත රටාවකට රාමුවකට හෝ ආකෘතියකට අනුකූලව කරනු ලැබුවහොත් එම කෘතිය වචනාර්ථය අනුව වුව අනුකරණයක් මිස නවකතාවක් නොවන්නේය. ඒ ඒ රටට ඒ ඒ සාහිත්‍යයට ඒ ඒ ලේඛකයාට ඒ ඒ කෘතියට විශේෂ වන නවතම ලක්ෂණයන්ගෙන් යුක්ත සාහිත්‍යක් ලෙස අධ්‍යතන නවකතාව හැඳින්විය හැකිය.
                  සිංහල නවකතාවේ ඉතිහාසය දෙස බලන විට එය වැඞී වර්ධනය වී ඇත්තේ ප‍්‍රධාන කොටම තේමා ධාරාවන් තුනක් ඔස්සේ බව පෙනී යයි. මේවා ප‍්‍රචාරක, පේ‍්‍රම, හා තාත්වික යනුවෙන් නම් කිරීමට හැකිය. මීට අතිරේකව අත්භූත , ඓතිහාසික, ආදී වශයෙන්ද වර්ග කළ හැකි වෙනත් නවකතා ස්වල්පයක්ද ලියවී ඇත. කාලාන්තරයක් තිස්සේ මෙසේ එකම තේමාවන් යොදා ගනිමින් පැවති සාම්ප‍්‍රදායික සිංහල නවකතාවට අභියෝගයක් වන ආකාරයට නූතන  සිංහල නවකතාව ඉදිරියට එමින් පවතින බවක් පෙනේ. එයට විවිධ න්‍යාය හා සංකල්ප මුසු කොට ප‍්‍රබන්ධ කතාවේ රසාලිප්ත වින්දනය සිංහල පාඨකයාට විඳ ගැනීමට මං විවර කිරීමට නුතන සිංහල නවකතා කරුවන් කිහිප දෙනෙකු උත්සහ කරන බව මෑත කාලීනව බිහි වූ කෘති කිහිපයක් සාක්ෂි දරයි.
උප සංස්කෘතින් භාවිතය  හා නූතන  සිංහල  නව කතාව
                    සිංහල නවකතාව කාලාන්තරයක් තිස්සේ වික‍්‍රමසිංහයන් ආරම්භ කළ යථාර්ථවාදී නවකතාව තුළින් ඔබිබට ගමන් කළේ නැත. එම නිසාම පාඨකයා හෙම්බත් වන තරම් ඒකාකාරි වින්දනයක් ඒවායෙන් ජනිත විය. මෙම කාලය ඇතුළත පාඨකයාට නවතාවයේ රසයක් ලබා දිය හැකි නව්‍යකරණයකට ලක්වූ නවකතා රචනා ක‍්‍රමෙවිදයක් සිංහල නව කතාවට ප‍්‍රවිෂ්ඨ නොවුණි. නමුත් මෑත වර්තමානයේ එම අඩුව පුරවාලමින්, සාහිත්‍යයේ හා කලාවේ විය යුතු අන්දමින්ම නව්‍ය ආකෘති අත්හදා බැලීමත්, තේමාමය ගවේශණාත්මක ක‍්‍රමවේදයන් අනුගමනයෙන් නිර්මාණ කිරීමට උත්සහ කිරීමත්, නූතන සිංහල නවකතාකරුවන්  කිහිපදෙනෙකු අතර දක්නට ලැබේ. මෙම සිංහල නවකතා නොහොත් ප‍්‍රබන්ධ කතා, සමාජයේ පවතින යම් යම් උප සංස්කෘතින් අධ්‍යයනය තුළින් එහි හරයන් හා මානයන්  තම ප‍්‍රබන්ධ නිර්මාණය තුළින් දැකීමට උත්සහ කිරීම ඉන් එක් නූතන ප‍්‍රවණතාවයකි.
                 මනුෂ්‍යාට කුතුහලය වූ කලී පොදු ධර්මතාවයකි. මනුෂ්‍යා තම ජීවිතයේ බොහෝ කාර්යන් සිදු කරනුයේ මෙකී කුතුහලය නැමති සාධකය නිසාය. මෙම කුතුහලය සංස්කෘතිය නැමති ප‍්‍රපංචයේදී වුවද ඉතා පෘථූල සංකීර්ණ ක්ෂේත‍්‍රයක දෝලනය වෙයි. කෙනෙකුගේ සංස්කෘතියට වෙනස් වූ තවත් සංස්කෘතියද පැහැදිලිවම මෙම කුතුහලයට පාදක වෙයි. එය සංස්කෘතික අන්‍යත්වය (ක්‍මකඑමරුක ධඑයැර* ලෙස හඳුනා ගත හැකිය. යමෙකු තම සංස්කෘතිය හා සිරිත් විරිත් සමඟ ස්වාත්මගතව සිටී. එම නිසා  එකී  සංස්කෘතියේ පැනෙන ධර්මතා වැඩි චින්තනයක් නොමෙහෙයවා හුරුවක්, නිසගයක් බවට පත් කරවයි. එහෙත් ඉන් පරිබාහිර සංස්කෘතියක යෙදෙන කාරණා ඉතා සුළු වූ දෙයෙහි පටන් අමුත්තක් ආශ්චර්යක් කැඳවයි. මෙම අමුත්ත නිසාම එයට ලග්න වෙයි. විමසිලිමත් වෙයි. අවධාරණය හා  අවධානය දැඩිව අල්ලා ගනියි. උදාහරණයක් ලෙස විදේශීය ජාතිකයන් ලංකාව පැමිණි පසුව, ඔවුන්ගේ ඇතැම් ලේඛකයන්  තුළින් බිහි වූ මෙරටේ ජන ජීවිතය හා සමාජ ජීවිතය අලලා රචිත කෘතීන් එරටේ පාඨකයන් අතර විශාල ජනප‍්‍රියත්වයක් ලබා ගත්තේ මෙකී සංස්කෘතික අන්‍යතාවය යන සංකල්පය නිසාය. එදා හෙළ දිව නැමති කෘතිය ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්ථනය වූයේ එම හේතුව නිසාය. එසේම අප විසින් විවිධ විදේශීය පරිවර්ථන කියවීමට දැඩි රුචියක් දක්වන්නේ එම සංස්කෘතික අන්‍යත්වය විඳීමට ඇති දැඩි කෘතුහලය හා ආකර්ශනය නිසාය.
               පාඨකයාගේ  මෙම රුචිය හඳුනා ගත් නූතන සිංහල නව කතා රචකයන් කිහිප දෙනෙකු එම රුචියට අනුකූල ලෙස මහා සංස්කෘතියෙන් වෙන් වූ, එහෙත් එයට බද්ධ වූ  චූල සංස්කෘතීන් තුළ සිට සිදු කළ ගවේෂණාත්මක නිර්මාණ කිහිපයක් නිසා උපසංස්කෘතීන් හා සිංහල නවකතා යන ප‍්‍රස්තුතය සාකච්ඡුාවට ලක් විය යුතුමය. පාඨකයාට මහා සංස්කෘතියේ කාරණා නවකතාවලින් පමණක් නොව සියලු කලාවන්ගෙන්ම විඳ පලපුරුදුය. එම නිසා  උපසංස්කෘතියක් තුළ විකාශිත ප‍්‍රබන්ධයක්, පෙර කී කුතුහලය හෙවත් සංස්කෘතික අන්‍යත්වය කෙරෙහි වන දැඩි මානුෂීය නැඹුරුව නිසාම එය විඳීමට, මොහොතකට හෝ එහි ජීවත් වීමට හා එහි සංස්කෘතික කාරණා පිළිබඳව දැනුවත්භාවය ලබා ගැනීමට හැකි නිසාම පාඨකයා මෙකී නව කතා පිළිබඳ උනන්දු වෙයි.
              මෙහිදී උපසංස්කෘතියක් යනු කුමක්ද යන්න සරලව හඳුනා ගැනීම  වටී.  ‘‘උප සංස්කෘතිය යනු පොදු සංස්කෘතිය පිළිගන්නා අතරම එයින් පැහැදිලිව වෙනස් වූ සිරිත් විරිත් හා සම්ප‍්‍රදායන්ගෙන් යුක්ත වූ ජන කණ්ඩායමක හැසිරීම’’, ලෙස නිර්වචනය කළ හැකිය. මිනිසුන් අතර ඇති වන ස්වභාවිකව පැන නගින විවිධත්වයේ ලක්ෂණ, මිනිස් වෙනස්කම් වේග, ස්ත‍්‍රී පුරුෂ වෙනස, මානව විද්‍යාත්මක වෙනස හා ජෛව විවිධාත්මක හැඩ ගැසීම් පරම්පරා සංස්කෘතික කලාප (ආගමික හා ජනවාර්ගික* ලෙස නොයෙක් ආකාරයේ විසමතාවයන් (ෘසෙෙැරුබජැි* රාශියක් මිනිසුන් අතර තිබේ. මෙම වෙනස්කම්වලට අදාළව මිනිසා බෙදා වෙන් කරන සමාජීය විභේදනයන් (ෘසඩසිසදබි* ලෙස හඳුන්වයි. කුලය, පංතිය, ප‍්‍රභූ - නිර්ප‍්‍රභූ, රජ - යටත්වැසි, පාලක- පාලිත ලෙස ඒවා නොයෙක් ආකාර ගනී.
            එවැනි සමාජ බෙදීම් නිසා වෙන් වූ සමාජ ඒකක හා ඒවායේ සංස්කෘතින් ඇසුරින් ලියන ලද නූතන සිංහල නවකතා කවරේදැයි විමසිය හැකිය.

                                                   කුරුලූ හදවත- ලියනගේ අමරකීර්ති







                        ප‍්‍රකාශනය:- ෆාස්ට් පබ්ලීෂියන් (ප‍්‍රයිවට්* ලිමිටඞ්,කොළඹ 10
                        ප‍්‍රථම මුද්‍රණය:- 2013
              ලියනගේ අමරකීර්ති මහතා විසින් රචිත කුරුලූ හදවත නව කතාව තුළින් ප‍්‍රකාශ කිරීමට උත්සහ කොට ඇත්තේ කුඹල් කර්මාන්තයේ යෙදෙන ගමක සහ එහි ජීවත් වූ තරුණයෙකු, එම ගමේ සහ තම පරම්පරාවේ කුඹල් උරුමයට දැක්වූ ප‍්‍රතිචාරය පිළිබඳවය.  නව කතාව ආරම්භ වන්නේ අසූව දශකයේ මුල්භාගයේ  කුරුණෑගල, වැල්ලව, බුදනාපිටියේ කුඹල් ගමක සංදර්භයේය. කුරුලූ හදවත් කතා නායක දිනසිරි කුඹල් කොල්ලෙකි. ඔහු තමන් සිතා සිටි අයුරින්ම රජයේ විභාගය අසමත් වෙයි. අසමත් කොල්ලන්ට සමත්කම් පෙන්වන්නට තිබූ හොඳම අවස්ථාව වන හමුදාවට බැඳීම ඔහුගේත් අදහස වෙයි. හමුදාවට බැඳීම සඳහා ලියුම් කවරයක් හා මුද්දරයක් තැපැල් කන්තෝරුවෙන් මිළ දී ගන්නා දිනසිරිට තැපැල් නෝනාගෙන් ඉතිරි මුදල්  වෙනුවට තැපැල් පතක් ලැබේ. දිනසිරිගේ ඉරණම එම තැපැල් පතයි.
              ඒ පේ‍්‍රම කීර්තිද අල්විස්, ධර්ම ශ‍්‍රී වික‍්‍රම සිංහ, බණ්ඩාර කේ විජේතුංග, කුසුම් පීරිස් ජයන්ත පීරිස් , සුමනා නෙල්ලම්පිටිය, වැනි ජනප‍්‍රිය නිවේදක නිවේදිකාවන් ගුවන අරා සිටි කාලයයි. වළං හදන පහළ  කුලයක කුඹල් දිනසිරිත් අහමිබෙන් අතට ආ පෝස්ට් කාඩි එක මාර්ගයෙන් ප‍්‍රථම වරට එම නිවේදක කටහඬින් තම නම ගුවනේ පාකර ගනී. ඉතා කෙටි කලකින් තැපැල්පත් යැවීම උන්මාදයක් බවට පත් වෙයි. එහෙත් දිනසිරි ගුවන් විදුලියට තැපැල්පත් ලියනුයේ තමන්ගේ සැබෑ නමින් හෝ ගමින් නොවේ. දිනසිරි කුරුලූගංගොඩ නමින් නම වෙනස් කර ලියනා දිනසිරි, වළංගංගොඩ කුරුලූගංගොඩ කරයි. මෙසේ ගුවන් ගත විප්ලව කරුවෙකු වෙමින් තම ගමේ හීන කුල නම වෙනස් කළ ආඩමිබරයෙන් ඔහු පසු වෙයි. මේ අතර වයලීනයක් අතින් ගත් අසල්වැසි උසස් කුල තරුණියක් සමඟ අප‍්‍රකාශිත පෙමක පැටලෙයි. තැපැල්පත් උන්මාදයේ අවසානය දිනසිරිට වාසනාව ගෙනෙයි. දිනසිරි කුරුලූගංගොඩගේ ජනප‍්‍රියතාවය නිසා අලූතින් පටන් ගන්නා මියුරු එෆ් එම් ගුවන් විදුලි නාලිකාවක නිෂ්පාදක කණ්ඩාායමේ සාමාජිකයෙකු ලෙස රැුකියාවක් ලැබේ. එතැන් පටන් ඔහු තම විප්ලවීය ගං කාර්යය දෙගුණ තෙගුණ කරමින් කුරුලූ ගංගොඩ නම් වූ වළංගංගොඩ පිළිබඳ නැති උත්කර්ෂයක් මවමින් අති ජනප‍්‍රිය වැඩසටහන් නිෂ්පාදකයෙක් නිවේදකයෙක් වෙයි. ඉන් පසුව බහු ජාතික සමාගම් හා ගිවිසුම්වලට සම්බන්ධව අතිශය ධනවතෙක් බවට පත්වන දිනසිරි ‘‘කුරුලූ’’ නමින් ප‍්‍රසිද්ධ වෙයි. ඔහු ජනප‍්‍රිය සංස්කෘතියේ ගොදුරකට වඩා වාහකයෙක් බවට පත් වෙයි. එහෙත් ජනප‍්‍රිය සංස්කෘතිය ගමට ගෙන යන ධනේශ්වරයේ මාධ්‍යකරුවන්ටම කුල සන්තම් ඇති ගම් හා කුල බද්ධ ජීවිකා වෘත්තින් අවශ්‍ය බව නව කතාවේ අවසාන භාගය කරා එළඹෙන විට පෙනේ. වළං හදන ආකාරය නැරඹිමට ගමට පාසල් චාරිකා හා වන්දනා නඩ පැමිණෙති. පාවිච්චියට නොගත් සකපෝරු නැවත කැරකෙයි. දිනසිරි හා විවාහ වීමට සූදානම් වෙමින් සිටී කුලවත් පෙමිවතියට එය ‘‘පේ‍්‍රමයේ අත්හදා බැලීමක්’’ වෙයි.
             මෙම නවකතාව පාඨකයා වඩාත් ග‍්‍රහණය කර ගනු ලබන්නේ කුඹල් ගමක කුඹල් සංස්කෘතියේ කාරණා වටහා ගැනීමට ඇති ආශාවද සමඟය. එම කුඹල් කුලයට අයත් ජනතාව මහා සංස්කෘතියෙන් වෙන් කිරීමක් කර ඇති බවට පැහැදිලිවම පෙන්නුම් කරන ඇතැම් සිද්ධි ඇතුළත් කිරීම තුළින් කතුවරයා උප සංස්කෘතියේ ස්වභාවය මැනවින් හඳුනාගෙන ඇති බවට උදාහරණයකි.
‘‘වළං හදනව කියන්නේ මොකටද? පෝච්චි හදනව කියන්ඩ. රතු නැන්දා ආපු දවස්වලම මධුවන්තිට කිවුවා. ඒක ඇත්ත. දිනසිරිත් එකඟයි. වළං හදනව කියන්නෙ වළං හෝදනව වගේ වැඩක් කියල වළං නොහදන මිනිස්සු හිතන්නෙ. අපි හදන වළං හෝදන්නෙ එයාල කියල එයලම දන්නෑ. රතු නැන්දා එහෙමත් කියලා තිබුණා. ඊට පස්සෙ කවුරුත් පුරුදු වුනා ‘‘මල් පෝච්චි’’ හදනව කියන්න. ඒක පුංචි කැරල්ලක් වගේ වැඩක්.’’  
             මේ ආකාරයෙන් ඔවුන් මහා සංස්කෘතියෙන් වෙන් වූ කොටසක් ලෙස දැකීමට සමාජය  උත්සහ කරන බව පෙන්වයි. නමුත් සත්‍යය වශයෙන්ම කුඹල් කුලයේ පුද්ගලයන් එසේ වීමට කැමති නැත. කතුවරයා මෙසේ ගෙන එන්නේ සාම්ප‍්‍රදායික කුල වැඩවසම් සමාජය තව දුරටත් නොපවතින බවට ඉඟි කරන හොඳ උදාහරණයකි.
              එසේම කුරුලූගංගොඩ: සාමූහික මතක පරිච්ෙ‏‏ජ්දය තුළද දිග හැරෙනුයේ ‘‘වළංගංගොඩ’’ කියන නම නිර්මාණය වු ආකාරය විස්තර කරමිනි. සාමාන්‍ය ගැමි පරිසරයක පවතින කුඹල් කුලයේ ගමක නම තුළින්ම එයට  ලැබෙන සමාජ තත්තවය පිළිබඳව හගවයි.
‘‘වළංගංගොඩ කියන නම මේ ගමේ අයම දාපු නමක් වෙන්ඩ බෑ. මොකද ඒ ගමේ පදිංචි වෙලා ඉන්නෙ වළං නෙමේනෙ. මිනිස්සුනෙ. කවුරුහරි ඒ අයව වළං බවට ඌණනය කරන පිරිසක් වෙන්ඩ  ඕනෙ නම දාන්න ඇත්තෙ. රන්දිමාලගෙ ගෙදර අය උනත් එයාලට අවශ්‍ය වෙලාවට මේ ගමට කියන්නෙ ‘‘බඩහැල ගංගොඩ ’’නමුත් දිනසිරිලගෙ ගෙදර අය කියන්නෙ ‘‘ගංගොඩ ’’නැත්තන් ‘‘අපේ ගංගොඩ ’’ ‘‘වළං’’ හැලෙනවා.’’
             බඩහැල කුලය හෙවත් කුඹල් කුලය සමාජයේ ස්ථාපිත වීම කෙරෙහි පුරාණ ඉතිහාස කතා ගෙනහැර දැක්වීමෙන් හා ඒ ආශ‍්‍රිත කර්මාන්තයේ ක‍්‍රියාවලිය ගෙනහැර දැක්වීමෙන් තම ගවේෂණයේ සාර්ථක බව නිර්මාණාත්මකව පෙන්වීමට කතුවරයාට හැකිව ඇත. එමගින් පාඨකයාට කතාවේ පවතින සමාජ පරිසරය පිළිබඳ වඩාත් පැහැදිලි පසුබිම් කථනයක්  ලබා දීමට උත්සහ කොට ඇත. එය සියලූ දෙනාම නොදන්නා උප සංස්කෘතියක් තුළ විකාශිත කතාවකට අත්‍යවශයෙන් උවමනා වූවකි. මුත්තු අත්තා නම් චරිතය තුළින් තම පරම්පරාවේ ආරම්භය පිළිබඳව කතාන්තරය පාඨකයාට ගෙන එයි.
            ‘‘ංඈ බොල ඔය රේඩියෝ එකට බඩහැල ගංගොඩ කියලා කියන්න ලැජ්ජයි තොට එහෙනං? බොල මහෞෂධ පණ්ඩිතයොත් අපේ ජාතියෙ. එතුමන්ගෙන් තමයි මේ   කර්මාන්තෙ පටන් ගත්තෙ. තොට ලැජ්ජ උනාට බොල අපේ ජාතියෙ සමහර එවුන්ගෙ නම් මොනවද? කළුබඩහැලයලාගේ, අර්සබඩහැලයලාගේ. ඔන්න නං. නමෙන්ම කෙළින්ම කිවුවා මිසක් හැංගිලි නෑ.’’
              ‘‘ අපි හොඳ බඩහැල මිනිස්සු. ඝටීකාර බ‍්‍රාහ්මණයගෙං තමයි අපි පැවත එන්නෙ’’
            මුත්තු අත්තා නම් චරිතය තුළින් කතුවරයා අතීත සහ අනාගත පරම්පරාවන්හි තත්තවයන් සංසන්දනාත්මකව විග‍්‍රහ කරයි.
             කුඹල් කර්මාන්තයේ යෙදීමේදී එහි කාර්යයන් විස්තරාත්මකව දැකිවීමටද කතුවරයා අමතක කොට නැත.මුත්තු අත්තා දිනසිරි සමඟ වළං මඩුවේ සිට කරන කතා බහ සමඟ එය නිරූපණය කොට ඇත. එහි යොදා ගන්නා භාෂාව කුඹල් සංස්කෘතියේ කාර්යන් සඳහා යොදාගන්නා ආෙවිණික වදන් තුළින් සමන්විත කිරීම තුළ පාඨකයාට එම සමාජය තුළට පිවිසීමට මං සලසා ඇත.
‘‘ඔන්න බලපිය දැනටමත් අහු වෙන ගල් කැට. මෙව්ව ගියා නම් අප්පල්ලඔල හිල්. කුඩා ගල් කැට පවා මුත්තු අත්තා ලියන මැටි පෙති අතුරින් මතු වෙන හැටි පුදුමයි.
‘‘නිකං උණ පතුර මැටි ගොඬේ ඇන්නට වැඩක් නෑ. මැටි ලියනව කියන්නේ මොකක්ද කියල දැනගෙන කරන්ඩෝනැ. අකුරු ලියල වැරදුනොත් මකන්න පුළුහං. මැටි ලියල වැරදුණොත් වළං හිල්  වෙන්නෙ පුච්චන කොට.’’
             එසේම ඔවුන්ගේ කුලයේ පැරැුන්නන් කී කවි පවා මුත්තු අත්තා ලවා කියවන්නේද නවකතාවේ නිර්මාණශීලිත්වය මෙන්ම සාර්ථක ගවේශනයේ  ප‍්‍රතිඵල පෙන්වමිනි.
                     පල්ලව පඩත්තරු පරවරුද                   මුකකරු
                     ඊ ළඟ දුරා පදු කෙවුලන් සහ                   හකුරු
                     ඊනුත් එපිට බෙරවා රදා                      කින්නරු
                     තොපි මිස  තොපේ ලියො අරගන්නේ           කවුරු  
                 අමරකීර්ති මහතා කුඹල් කර්මාන්තය සඳහා කුරුලූ ගංගොඩ කුඹල් ජනතාව මැටි එකතු කර ගන්නා ආකාරය පැහැදිලි කරන බෝල බෝල මැටි පරිච්ෙ‏ඡු්‏දය කියවන පාඨකයා සැබැවින්ම කුඹල් ගමක ජිවිකාව පිළිබඳ සිතුවම් පටක් මවා ගනී.
 ’‘ මාළු අල්ලනවට අමතරව ජේන් ඇගිනස් නිරංජලා වගේ ගෑනු උදවිය පෑදිලා තියෙන වැව් තාවුල්ලෙන් මැටි කපා ගන්නවා. වැව හිඳෙන කාලෙට මැටි බෝල අත් ට‍්‍රැක්ටර් හත අටක් හැම ගෙදරකටම ගෙන්න ගන්නවා. කුරුලූ ගංගොඩ කවුරුත්. කාලයක් රොන් මඩ එකතු වෙලා හදන වැවේ මැට්ට වෙන කොහෙවත් හොයන්න නැති මැට්ටක්. තෙප්පින්න (මැටි බිඳ ගැනීමට භාවිත කරන ලී උල* ගහල ඇල්ලූවම මී කිරි වගේ කැඩිල එන මැට්ටක්. හීනි වැලි පොඞ්ඩක් කවලම් කරල ගත්තම පුදුම කීකරුවක් තියෙන්නෙ ඒ මැට්ට. සක පොරුවෙ තියල ඇඟිල්ල තිබ්බම  ඕනෙ හැඬේකට නැමෙනවා බොරු ලැජ්ජාව නැති මනමාලියක් වගේ’’
              තවද කෝකිලයන්ගේ කෝකිල නාදේ පරිච්ජේදයේ ද දක්වන සිංහල අවුරුද්දට කුඹල් ගමේ ලක ලැස්තිය පිළිබඳවද මෙයට උදාහරණයකි.
‘‘මෙවුවා දඩි බිඩියෙ ඉදි කරලා බෑ. බස්නායක වත්තට. පෝරුව උඩ කටේ ගහල (වළං ඉඳි කිරීමට සකපෝරුව මත කුළුණක් සේ මැටි තැබීම* එතන පුටුවෙ ඉඳ ගත්තු ජේන් ජය සේනට කිවුවෙ ඊයේ ඉඳි කරපු වලන් තලන ඔහු ඊ ළඟට ඉදි කිරීම භාරගෙන සිටින නිසා.’’      
              කුරුලූ හදවත් කතුවරයා සමාජයේ කුල වැඩවසම් ක‍්‍රමය කෙතරම් ක‍්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව හා කුඹල් කුලයට එමගින්  තත් ගමේ තිබූ ස්ථානය පිළිබඳව පාඨකයාට හඳුන්වා දිමට නවකථාව තුළ සිතියමක් භාවිත කරයි.
             සිතියම වචන ගණනාවකින් කීමට නොහැකි බොහෝ දෑ කියා පායි.  කුරුලූ ගංගොඩ ආධ්‍යාත්මික, සමාජීය හා වෘත්තීමය වශයෙන් පමණක් නොව භූගෝලීය වශයෙන් පවා සෙසු ගම්වලින් වෙන්වී ඇති බවටත්, වෙනත් කුලයන්ට අයත් වු උප කුලයන්ද එකී ගම වටා  ජීවත්වන බවටත්, එහි සුන්දර ගැමි පරිසරයත් විස්තර කරමින් මෙතෙක් කතුවරයා වචන මාධුර්යයෙන් මැවූ සිත්තම රූපමය දෘෂ්ටියකින්ද පාඨකයාට පෙන්වා එය ඔහුගේ නිර්මාණශීලි උපක‍්‍රමයක් වන්නාක් මෙන්ම නූතන නවකතාව තුළ කතුවරයාගේ චින්තනය නිදහස්වාදී එළඹුමකින් මෙහෙයවීමේ හැකියාව පෙන්වයි. සාම්ප‍්‍රදායික නව කතා තුළ එවැනි අංග භාවිත කිරීම විරලය. මෙකී අංග නිසාම පාඨකයා නවකතාව තුළින් දකින සහ විඳින කාල්පනික යථාර්ථය තවදුරටත් සුනදර වෙයි. පෘථූල වෙයි. මෙවැනි බොහෝ අවස්ථා කුරුලූ හදවතේ විරල නොවේ.
              කුරුලූ හදවත නවකතාව තුළ විවරණය කරන කුඹල් ගමේ උප සංස්කෘතිකමය කාරණා තුළින් කතුවරයා උත්සහ කොට ඇත්තේ ලංකාවේ වර්තමානයේ වුවද සම්පූර්ණයෙන් ඉවත් නොවූ කුල භේදය නම් ගැටළුව පිළිබඳ සියුම් ලෙස විනිවිද යාමටයි. ඉන් මතු කරන සංවේදනා මගින් පාඨකයා මෙවැනි ගැටළු දෙසට විවෘත්ත කරනුයේ සහෘදයෙකු ලෙස   සානුකම්පිත කරවමිනිග එම නිසා කෘතියේ සමස්තය එක් අතකින් උපසංස්කෘතියක් තුළින් මහා සංස්කෘතිය කියවීමට දොරටුවක්  විවර කරයි.



                                  ලොවීනා - මොහාන් රාජ් මඩවල



                                     ප‍්‍රකාශනය: බිසෝ ප‍්‍රකාශන, නුගේගොඩ
                                      ප‍්‍රථම මුද්‍රණය 2013- සැප්තැම්බර්
                    මොහාන් රාජ් මඩවල විසින් රචනා කරන ලද ලොවීනා නම් නවකතාව වූ කලී ප‍්‍රස්තුත මාතෘකාව වන නූතන සිංහල නවකතාව තුළ උප සංස්කෘති භාවිතයෙන් සිදු කරනු ලැබූ විශිෂ්ට නිර්මාණයක් ලෙස උදාහරණයට ගත හැකි කෘතියකි. ලොවීනා නවකතාවේ පොතේ පිටකවරයම යම් කිසි නුහුරු සංස්කෘතියක සංදර්භයක් ඒත්තු ගන්වන්නට සලස්වයි. එහි ඉහළින්ම ලියා ඇත්තේ .්‍යසාාැබ ‘‘ඛදඩැ ීඑදරහ ්එ ඵදමබඑ ඛ්ඩසබසහ්’’ යන්නය. එය ගාබ්‍්‍රයෙල් ගාර්සියා මාකේෂ්ගේ ‘‘ ඔයැ කදඩැ ීඑදරහ දෙ ජයදකැර් ඔසපැ ’’ නවකතාවය. නමුත් නවකතාව විකාශනය හා අන්තර්ඝතය ආදී කරුණු වලින් ඒවා සමාන නොවේ.
                    ‘‘ලොවීනා’’ නමින් කෘතිය නම් කොට තිබුණද මෙහි ප‍්‍රධාන චරිතය වන්නේ ‘‘පුන්නා’’ හෙවත් ‘‘පුන්නීය’’ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ අන්තඃපුර බිසවක ලෙස ලෙස රජවාසලට රැුගෙන යන ඇය අභිරහස් ගැබ් ගැනීමක් නිසා රොඞී රැුහැට පන්නා දමනු ලබයි. ඉන්පසු ඇය රොඞී සමාජය තුළ ජීවත්වන අතර දශක කිහිපයක් පුරා දිව යන මෙම කතාවේ පුන්නා ඇගේ ජීවිතයේ මහලූ වියේ පසු වෙමින් සිටියදි ‘‘පිංචි’’ නම් ඇගේ තුන්වන පරම්පරාවේ මිණිබිරිය ඇය සමඟ ජිවත්වීමට පැමිණි තැනට පසුබිම සැලසීමේ සිට කතාව දිග හැරෙයි. ඇයගේ තරුණ කාලය ගෙවී ගිය ආකාරයත් රජවාසලට ඇය රැුගෙන ගිය පසු ජීවිතයත් දස්කොන් අදිකාරම සහ ප‍්‍රමිලා බිසවගේ කතාවත් මෙයට ඈදා ඇත. ඇය අත්භූත දුම් ඇල්ලීමකට හුරුවන අතර දස්කොන් අදිකාරම සමඟ මනෝමය සහවාසයෙන් ගැබ් ගත් බවට ඇය විශ්වාස කිරීමත් නිසා ඇයට රොඞී රැුහැට පිටමංවීමට සිදු වේ. එහිදී බයියා නම් මහලූ මිනිසා සමඟ ජීවත්වන ඇයට තවත් දරු මුනුබුරන් ලැබී ජීවිතය ගෙවේ. පිංචි නම් ඇගේ මිණිබිරියට අපොන්සුවා නම් ලන්දේසි ජාතික සෙබලා සමඟ සම්බන්ධ වීමටද ඇය උදවු කරන්නීය. එම නිසා පිංචි බිහි කරන දියණිය ලොවීනා නම් වන අතර මෙම ලන්දේසි සෙබලාගේ සබඳතාවය නිසාම ඔවුන්ට උඩරට සිට මුහුදු බඩ ප‍්‍රදේශවලට පලා ඒමට සිදු වේ. මෙම කාලය ඉංග‍්‍රීසින් යටතට පාලනය පත් අවධිය වන අතර ආණ්ඩුකාරයාගේ බංගලාවේදී රොඞී නැටුමක් නැටීමට රොඞී රැුහේ තරුණ තරුණියන් කිහිප දෙනෙකුට සිදු වේ. මෙහිදී ආණ්ඩුකාරවරයාගේ සිත ලොවීනා නම් තරුණිය කෙරෙහි ආශක්ත වන ආකාරයත් එම නිසාම රොඞී ජනතාව යම් යම් වරප‍්‍රසාදයන්ද ලබන බවත් කතාව තුළ නිරූපණය වෙයි.
            මෙම කතාව තුළින් උපසංස්කෘතික අංග ලක්ෂණ මැනවින් දැක්වෙන බවට උදාහරණ රාශීයකි. රොඞී කුලයේ තිබෙන්නා වූ විශේෂ වත් පිළිවෙත්, ඇදහිලි ක‍්‍රම, චාරිත‍්‍ර ආදී දේ පිළිබඳව කතුවරයා යම් ගවේෂණයක් කර ඇති බව ලොවීනා කෘතිය පුරාම දිස් වේ. විශේෂයෙන් ඔවුන් භාවිතා කරන ආම්පන්නවලට යොදා ඇති විශේෂිත වදන් පිළිබඳව කතුවරයා මුළු නවකතාව පුරාම සැලකිළිමත් වී ඇත. රැුහේ නායකයා වන හුලවාලියා විසින් තම පරම්පරාවට ගෙන යනු ලබන විවිධ යන්ත‍්‍ර මන්ත‍්‍ර වත් පිළිවෙත්, රෝග සුව කිරීම, අවමංගල චාරිත‍්‍ර ආදිය දීර්ඝව සවිස්තර කොට ඇත. ඒ සඳහා ඔහු සෑහෙන කාලයක් ගවේෂණ කාර්යයයේ වෙහෙස වී ඇති බව පැහැදිලිය.
             ග‍්‍රන්ථය ආරම්භයේ පිංචි විසින් දකින ඇගේ අත්තම්මා පිළිබඳ විස්තරයෙන් රොඞී කාන්තාවකගේ ඇඳුම් පැළඳුම් ගැන මනා සිතුවමක් ඇඳේ.
            ‘‘මැදගිල්ලේ පළඳා තිබූ ලොකු පිත්තල මුදු ඇගේ සිත් ගත්තේය.ඇගේ ගෙල සැරසී තිබුණේ එකිනෙක පබළු ඇට සිනිඳු හුයකින් ඇමුණූ මාලයකිනි. එය ඇගේ රැුහේ අනෙක් සියලූම ගැහැණු හැමදා හැම විට සිටී පරිද්දෙන් නිරුවත් උඩු කයෙහි රතු පැහැ තන පුඩු සහිත වැහැරුණු පියයුරු අතරිනුත් පහළට විහිදී ඇගේ නාභිය තෙක්ම එල්ලී තිබුණි.
              ඇගේ රැුහේ සයලූ ගැහැනුන් අතරින් නිරුවත් උඩු කයෙහි තන පුඩු විවිධ පැහැයෙන් පාට කරන්නට මුලින්ම පටන් ගත්තේ ඈය.උත්සව දවසක කහ රතු නිල් කොළ පැහැයෙන් ගැහැණු තන පඩු රැුහේ සාමාන්‍යය දසුනක් විය’’
             එසේම පුන්නි රැුහැට පැමිණි දා බයියාට විවාහ කර දීමේ මඟුල් චාරිත‍්‍රද බයියා මිය ගිය අවස්ථාවේදී සිදු කරනු ලබන අවමඟුල් චාරිත‍්‍ර පිළිබඳව විස්තර කිරීමෙන් රොඞී අවමඟුල් චාරිත‍්‍ර කතුවරයා විස්තර කරයි.
           ‘‘හුලවාලියා විසින් ඔහුට පුන්නී හඳුන්වා දීමෙන් ඉක්බිතිව  ඔහු අලූත් බුලත්විටක් කෙටුවේය. පසුව එය තම මුවේ දෙතුන්විටක් හපා පුන්නීගේ මුවට තබා එය ඇගේ මුවට ඇතුල් කළේය. එය පුරාණ චාරිත‍්‍රයකි. එයින් පුන්නී කුප්පායමට පිළීගත් බවත් ඇය ඇඹේණිය ලෙස භාර ගත් බවත් සහතික කෙරිණි.’’
            ‘‘පසුව ඈ පුන්නී සමඟ එක්ව සිය අප්පුච්චිගේ මළ සිරුර චාරිත‍්‍රානුකූලව වතුරෙන් සෝදා හිස පීරා සකස් කළාය. ඊ ළඟට මළමිනිය මුවෙහි බුලත් කොලයක දැවටූ හාල් ඇට කිහිපයක් තැබුවාය. අවසානයේදී සුදු රෙදි කඩකින් මළ මිනිය ආවරණය කළාය.‘‘
රොඞී මිනිසුන් හිඟමන් ඉල්ලා ඇවිදීමේදී අනුගමනය කරන කරුණු පිළිබඳවද පාඨකයා මෙහිදී අවබෝධ කර ගනී
          ‘‘ හිඟමන් ඉල්ලා කුලවත් ඇත්තෙකුගේ ගෙදරට යන විට ගෙදර ඉදිරිපසින් හෝ ගෙයි මිදුලෙහි අමදින ලද පෙදෙසින් අඩිය නොතැබිය යුතු බව ඔහු ඇයට කියා දුන්නේය. රජුට අයත් නින්දගමක් හරහා කිසිසේත් ගමන් නොකළ යුතු බව කියා දුන්නේය.කුලවතුන් එගොඩ මෙගොඩ යන ගඟක තොටුපලකින් එතෙර වන්නට හිනෙකින්වත් හිතන්නට එපා යැයි කියා දුන්නේය.පමණකුදු නොව උසස්් කුල ඇත්තෙකු ඉදිරියේ දණින් වැටී ආචාර කිරීම  පමණක් නොව තමාගේ ඉදිරියට එවැන්නෙකු මුණ ගැහුනොත් ඔවුන්ට යෑමට මඟඉඩහැර යටහත් පහත්ව පසෙකට වන හැටිද ඇයට කියා දුන්නේය.’’
         මොහාන් රාජ් විසින් භාවිත කරන භාෂාව සැබවින්ම රොඞීන්ගේ භාෂාවයි. වදනක් වදනක් පාසා ඔවුනගේ සංස්කෘතියම විදහා දැක්වීමට ඉන් හකි වී ඇත.
‘‘අවසර හාන්දුරුවනේ මේ ගැත්තාට ඔය වී කන්දෙන් වී ඩිංගිත්තක් දෙන්න මනාපනං ඔය ඇත්තො මයිත්රී බුදුන් ගාව බුදු වෙනවා හාන්දුරුවනේ...’’
‘‘අනේ හාන්දුරුවනේ මේ ගැටිස්සී ඊයේ පෙරේදා අපේ රැුහැට එකතු වුනේ....
          ආදී වශයෙන් රොඞීන් කුලීනයන් ඉදිරියේ කතා බහ කරන ආකාරය මැනවින් රචනාවට එක් කොට ඇත.
          ඔවුන් අතර භාවිත වන විවිධ ආම්පන්නවල නම් පිළිබඳවද කතුවඑයා පර්යේශනය කර ඇති බව පෙනේ. දුමන, බුම්මැඩිය, කොළොම්බුව, කුප්පායම, ආදී වචන එයට නිදසුන් කිහිපයකි. එපමණක් නොව නවකතාවේ චරිතවලට යෙදු නම් පවා ඔවුන්ගේම සංස්කෘතියට අනුකූල වූ ඒවාය. පුන්නී, බයියා, පිංචි,  හපූ, සසිරා, උතියා ,පෙමියා ආදී නම් මහා සංස්කෘතියෙන් පරිභාහිර, නිතර අසන්නට නොලැබෙන උප කුලයක නම් බව පැහැදිලිය.එවැනි කරුණු තුළින් පවා රොඞී සංස්කෘතියටම බද්ධ වීම  කතාවේ රසයට වැදගත්ය.
               
                                            සෙංකොට්ටන් - මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල








                                        ප‍්‍රකාශනය:සන්ථව ප‍්‍රකාශන,යක්කල
                                        ප‍්‍රථම මුද්‍රණය 2012
                  නූතන සිංහල නවකතාවන් තුළ වඩාත් කතා බහට ලක් වූ නව කතාවක් ලෙස මහින්ද ප‍්‍රසාද් මස්ඉඔුලගේ ‘‘සෙංකොට්ටං’’ නව කතාව හැඳින්විය හැකිය. එහිද උපසංස්කෘතියක් තුළින් ප‍්‍රබල සමාජ ගැටළුවක් සංවාදයට ලක් කරයි. එහිම උත්තරීතර යැයි කියනු ලබන් මනුෂ්‍යත්වය ද සංවේදී යැයි කියනු ලබන ජීවිතයද ප‍්‍රශ්නාර්ථයට ලක් කරයි. නව කතාකරුවාට ඉන් එහා පුරුෂාර්ථ මතු කළ හැක්කේ කලාතුරකින්ය. නමුත් මස්ඉඹුලගේ නවකතාව තුළ මේ සියල්ල සමඟ මුසු වූ ආකර්ශණීය දෘෂ්ටිවාදයක් ද ගොඩනැගී ඇති බවක් පෙනේ. නවකතාවක දක්නට ලැබෙන විශේෂතා කිහිපයක් වන අව්‍යාජ කතා වස්තුව,  ජීවමාන චරිත නිරූපණය, සූක්ෂම ජීවිතාවබෝධය, සමාජ විශ්ලේෂණය, අපූර්ව සංයමය යන ලක්ෂනයන් සෙංකොට්ටං නවකතාව තුළ මැනවින් ගැබ් වී ඇත.
                  කතුවරයාගේ නිරීක්ෂණයට ලක්වන්නේ මීට දශක පහ හයකට හෝ ඊටත් පෙර ශ‍්‍රී ලංකාවේ පැවති කුල පීඩනයයි. රෙදි සේදීම රාජකාරිය කරගත් රදා කුලයේ ගම්මානයක අනුවේදනීය කතාව කර්තෘ විසින් කදිමට ගළපනු ලැබේ. එදා සහ අද අතර කුලය පිළිබඳ සංකල්පයේ වෙනස් චින්තන ධාරාවන්ද එහිම සමාජ සාධක ද සමඟ මුලින් කී කතාව ගළපන්නට ඔහු උත්සහ කරයි. කුල පීඩනය අදත් මැකී ගොස් නැත. වෙනස ඇත්තේ එය වෙනම අවස්ථාවලදී වෙනස් ආකාරයකින් මතු වීම පමණි. මෙම නවකතාවේ කතාවට පාදක වී ඇත්තේ සත්‍ය වශයෙන්ම ලාංකේය සමාජයේ පැවති කුල ධුරාවලියේ එක් කුලයක් වූ රදා කුලයේ එක් සත්‍ය සිදුවිම් සමූහයකි. කතුවරයාගේ විශේෂත්වය වනුයේ තම වස්තු විෂය සම්බන්ධයෙන් මැනවින් කරුණු හදාරා ඒවා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමයි. එම නිසාම පාඨකයාට තත් සමාජයේ ජීවමාන සිතුවමක් මෙම ප‍්‍රබන්ධය තුළින් මැවීමට කතුවරයා ගත් උත්සහය සාර්ථක වී ඇත. කතාවේ නම තුළම එහි ඇති නුහුරු බව නිසා පාඨකයා මෙම කතාව කියවීමට උත්තේජනය කරයි. ‘‘සෙන්කොට්ටං’’ යනු රජක කුලයේ ජනතාව තුමු සෝදා වෙල්ලාවේ තම්බා පිරිසිදු කොට මැද දෙනු ලබන ඒ ඒ ගණුදෙනුකාර භවතුන්ගේ අපිල්ලීමට භාර ගන්නා  රෙදි වෙන් වෙන්ව හඳුනා ගැනීමට රෙදි මත ලකුණු තැබීමට නිපදවා ගන්නා ද්‍රාවණය සාදා ගන්නා ගෙඩි වර්ගයකි. මෙම වචනය පවා පොදු සමාජයේ බොහෝ දෙනා හඳුනා ගත්තේ මෙම නවකතාව හරහා යැයි කිවහොත් නිවරදිය. එය කතාවේ තේමාව සමඟ බැඳීයන නිර්මාණාත්මක සංකල්පයකි. පාඨකයා අන්‍ය සංස්කෘතියක සමාජිකයෙකු වශයෙන් ප‍්‍රබන්ධයේ පවතින සංස්කෘතිය පිළිබඳ විමසිලිමත් වීමට එකී නම යෙදීමම ප‍්‍රයෝජනවත්ය.
        ‘‘ රෙදි වැඩවලින් ඔහු වැඩි පුරම ඇලූම් කරන්නේ සෙන්කොට්ටං කිරිවලින් රෙදි ලකුණු තැබීමටය. මේ කටයුත්ත බබා හේනයා ඉතා සාර්ථකව කරයි. ඔහු පුංචි කමට ඒ ඒ පවුල්වල රෙදිවලට නව සළකුණු නිර්මාණය කළ අතර ඒවා සමහරක් ඒ නිවෙස් හිමියන්ගේ අවධානයට පාත‍්‍රවිය. ‘‘
                    යනුවෙන් කුවරයා සෙන්කොට්ටං යනු මොනවාදැයි පාඨකයාට හඳුන්වා දෙයි.
                  සෙංකොට්ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ නිශ්චිත බිම් කඩක   නිශ්චිත කාල වකවානුවක න්ශ්චිතව හඳුනා ගත් ජන සමූහයක ඛේදවාචකයයි. සබරගමු පළාතේ රත්නපුර දිසත‍්‍රික්කයේ රිදීවිට නම් වූ ගම හා අවට ඒ පෙදෙස් මීට දශක අටකට පමණ පෙර විසූ සමාජයේ කුල ධූරාවලියේ අවම තැනක ස්ථාන ගත කරනු ලැබූ අවරවරප‍්‍රසාදිත මින්සුන් කොටසකගේ ජීවන සංස්කෘතිය මෙයින් විකාශය කරයි. මෙම නවකතාවේ ඉතා සියුම් ලෙස ද ගැඹුරු ලෙසද නිරූපණය වන චරිත දෙකක් තිබේ. ප‍්‍රධාන චරිතය වන්නේ වීරප්පුලි හේනයාය. දෙවන චරිතය වන්නේ පොඩිනාය. මෙම චරිත දෙක ඔස්සේ සමස්ත සමාජයේ මනුෂ්‍යත්වය සංකීර්ණ ප‍්‍රශ්න කිරීමට ලක් කරයි. වීරප්පුලි හේනයා කුල පීඩනය දරා ගත නොහැකිව ගොරොක් ගසක එල්ලි සිය දිවි නසා ගනී. නමුත් ඔහු ධෛර්යවන්ත මිනිසෙකි. පොඩිනා ආදරය හඹා ගොස් මහා වනාන්තරයක දී කුරිරු ලෙස ඝාතනයට ලක් වේ. ඇයද එඩිතර ගැහැණියකි. පොඩිනා ගැහැණියක වන්නේද මවක වන්නේද අනගි හාමි නම් උසස් කුල පුරුෂයා නිසාය. ඇගේ ආදරය රැුදී ඇත්තේ ඔහු මතය. එහෙත් කුල බේදය විසින් ඇය දුර්වල පුරුෂයෙකු වූ නම්බු හේනයා තම පුරුෂයා ලෙස තෝරා ගන්නේ ඇගේ ස්ත‍්‍රී නුවණ මෙහෙයවාය.වීරප්පුලි හේනයාගේ බිරිඳ මල්මා රිදී ,  ඔවුන්ගේ දියණිය හීන් රිදී, අනගි හාමි නම් කුලවතාට දාව පොඩිනා වැ¥ බබා හේනයා නම් අට හැවිරිදි දරුවා, අනෙකුත් ප‍්‍රධාන චරිතයන්ය. වීරප්පුලි හේනයාගේ වැඩිමහල් පුතු ලූවිස් හෙනයාද කුලවතෙකු වූ ගුණ රාළ හාමිද හීන් රිදීගේ සැමියා වන බබානිස්ද කතාවේ සෙසු චරිත වෙති. වීරපිපුලි හේනයා සිය මුණුබුරු බබා හේනයා ද සමඟ සිය රාජකාරිය සඳහා ඈත ගම් තුලානවල පවා ඇවිදියි. අත්තා තම දෙවුරේ බරැුති රෙදි පොට්ටෙනි දෙකක්ද මුණුපුරා හුරතලයට මෙන් ඔහු හිස තැබූ පොට්ටෙනියක්ද ගෙන ඒ යන ගමන පුංචි බබා හේනයාට අනාගතය පිළිබඳ කරන පෙර හුරුවකි.
                 කතුවරයා තම විෂය පථයට හසු කර ගනුයේ තමා හොඳින් හඳුනන පරිසරයක් හා වටහා ගත් චරිත කිහිපයක් බව පෙනී යයි. මහා ලේඛක අර්නස්ට් හෙමින්වේ වරක් කියා සිටින්නේ ‘‘තමා නොගිය තැනක් ගැන නොලියනු. තමා නොහඳුනන කෙනෙක් ගැන නොලියනු’’ යන්නය. ගම් නගර ස්ථාන ඒ නම්වලින්ම හැඳින්වීම හෙමින්වේගේ කතා කලාවේ ලක්ෂණයකි. එමගින් පාඨකයා ජීවමාන ලෝකයකට රැුගෙන යා හැකිය. යම් උපසංස්කෘතියක පසුබිමක් තුළ සිට කතාවක් ගොඩනගද්දී මෙය අතිශය වැදගත් වේ. මස් ඉඹුලද මෙම ලක්ෂණ හඳුනාෙගෙන ඇති බව පෙනේ. රත්නපුර දිස්ත‍්‍රික්කයේ රිදීවිට නම් ග‍්‍රාමය මෙම නවකතාව සඳහා පාදක කර ගැනීම මස්ඉඔුලද සිදු කර ඇත. එම ගමේ නම තුළම වාසය කරන කුලය පිළිබඳ පා්‍යකයාට අදහසක් ලබා දෙයි. වීරප්පුලි හේනයා ඇතුළු පවුල් පරිසරය පිළිබඳ මනා චිත‍්‍රයක් පාඨකයාගේ සිත්හි ඇදීම වචනයක් වචනයක් පාසා සිදුවන්නකි. රෙදි සේදීමේ කාර්යය පිළිබඳව ක‍්‍රියාවන් ඒවාට එකී රිදී කුලයේ ජනයා භාවිත කරන ආවේණික වදන්ම යොදා නවකතාවේ රසය තව දුරටත් ජනිත කිරීමට කතුවරයාට හැකි වී ඇත.
...සෑම මසකම මුල් සෙනසුරාදා නියංගම අප්පොලාගේ ගෙදර යන දිනයයි. ඔහු කරබාගෙනම තැම්බෙන රෙදි වෙල්ලාව දෙසම බලා කල්පනා කරන්නට විය. තම බිරිඳ විසින් අසුරන ලද වෙල්ලාව දුටු කළ ඔහුගේ සිතට යළිත් මහා කලකිරීමක් හට ගත්තේය. ඇයට තමාට තරම් රෙදි වෙල්ලාව අසුරන්නට නොහැකි වුවද ඇය තමා සමඟ පැමිණි දිනේ පටන් මේ දක්වාම පුදුම සහගත ලෙස රෙදි වැඩෙහි නිරත වූවාය. සතියකට වරක්වත් නෑවීමකට යයි. දවස තිස්සේ පෙත්තරේ රෙදි අපුල්ලයි. රාත‍්‍රිය පුරාම රෙදි මදියි....
කතුවරයා එකී කුලයේ පුද්ගලයාට ඉතාම සමීප අංග තුළින් තමන්ගේ සිත් තුළ පවතින හැගීම් දැනීම් පවා සංඛේතවත් කිරීමට නිරන්තරයෙන් උත්සහ කොට ඇති බව මෙම කතාව තුළ දිගටම පවතින ලක්ෂණයකි.
          වෙල්ලාව තුළ දැල්වෙන ගිනි පෙනෙලි අතර වූ තද රත්පැහැ ආලෝකය ඔහුට සව රාස්සිගේ අවුව වෙලාවේ සිතට ගෙනා පාළුව කාන්සිය මුසු හැඟීම රැුගෙන ආවේය.
                 නවකතාව අවසානයේ වික්ටර් සූරතිස්ස ගත කරන මධ්‍යම පාන්තික සුඛෝපභෝගී ජීවිතයත් තමාගේ මිණිබිරිය සමඟ ඇගේ ඔක්ස්ෆර්ඞ් ආචාර්ය උපාධි නිබන්ධනයට තොරතුරු සැපයීමටට උපන් ගමට සංචාරය කිරීමත් ඒ අවස්ථාවේ ඔහු මුහුණ දෙන සිතුවිලිමය අර්බුධය දෙසත් මෙම නවකතාව තුළ ගළපා ඇත්තේ පෙර කී ඔහුගේ සංස්කෘතිකමය කාරණා හා  වර්ථමාන ජීවිතය ගෙවෙන සමාජයේ සංස්කෘතික කාරණා සංසංන්දනය කිරීමට ඉඩ තබමිනි. තමන් පොහොසත් වීම නිසා අහිමිවී ගිය ‘‘තම වර්ගයේ අනන්‍යතා සාරයන් ’’ පිළිබඳව බෙහෙවින් පසු තැවේ. ජීවිතයේ සැන්දෑ සමය ගෙවන ඔහුට උපන් ගමට යන ගමනේදී තමාගේ අනන්‍යතාවය පිළිබඳ ගැටළුවකට මුහුණ පාන්නේ ඒ නිසාය. තමාගේ අතීත පිඩාකාරි අත්දැකීම්වල පසු බිම වන අසාධාරණ වැඩවසම්වාදී ආකෘතිකගත සමාජය කෙරෙහි විවේචනාත්මක හැඟීමක ඡුායාවක් හෝ ඔහුට ඇති නොවේ. මෙම ධුරාවලි ගත සමාජයේ අතීත මතක පිළිබඳ කලකිරීමකට වඩා ඔහුට උපදින්නේ තමා විසින් මකා දැමූ අතීතය පිළිබඳ ලාලසාත්මක හැඟීම්ය.
‘‘ ආයෙමත් අර සුවඳ දැනෙනවා... රෙදි සෝඩා කලවම් වෙච්ච රෙදි සුවද. ඒ සුවඳ මට හැමදාම දැනේවි . ඔවු ..ඉදිරියටත් මිය යන්නට කලින් ගන්න අන්තිම හුස්මෙනුත් ඒ සුවඳ මට දැනෙයි...’’
බබා හේනයා ලෙසින් සිටී තමන්ගේ පෙර අනන්‍යතාවයට ආසා කරන අන්දම හා එකී සංස්කෘතියට ඇති බැඳීම පෙන්වීම තුළින් කතුවරයා විමසුමට ලක් කරන්නේ  කුල ධුරාවලිය හා එය යටපත් කොට නැගුණු නව සමාජ ප‍්‍රවණතා මගින් ඉහළට නැගි පුද්ගලයකුගේ හදවතේ ගැඹුරුම සහ අවංක සිතුවිලි සමුදායකි.
නිගමනය
                    ඉහත සාකච්ඡුා කළ ආකාරයට නූතනය තුළ බිහි වූ සිංහල නවකතා සමූහයකම යම් උප සංස්කෘතියක් පසු බිම් කොටගෙන ඇඳෙන ජීවන සිතුවම් පට කිහිපයක් සිත්තම් වී ඇත. ඒවා තුළ පවතින ඒ ඒ සංස්කෘතියට අනන්‍ය වූ ලක්ෂණයන් මැනවින් අවබෝධ කොටගෙන ඒවා ගවේශණයෙන්  නිර්මාණශීලිත්වය හා ප‍්‍රතිභාව කැටි කොට ලියවුනු ප‍්‍රබන්ධ නවකතා රුචි පාඨකයාගේ ආකර්ශනය දිනා ගනී. එයට හේතු වී ඇත්තේ සංස්කෘතික අන්‍යත්වය පිළිබඳ කෘතුහලයයි. එමගින් පාඨකයාට විදේශීය පරිවර්ථන නවකතාවක් කියවීමෙන් ලැබිය හැකි තෘප්තියට සමාන තෘප්තියක් ලබා ගැනීමට මං සැලසී ඇත. එපමණක් නොව සමාජ විද්‍යාත්මක වශයෙන් වැදගත් වූ ගැටළුවකට මානුෂිය හැඟීම්, පුද්ගල මූලික හා සමාජ මූලික සාධක ඔස්සේ විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් ඒ ඒ සංස්කෘතිය දෙස බැලීම කතුවරුන්ගේ කාර්යය වී ඇත. පාඨකයාටද එකී විවිධ දෘෂ්ටිකෝණයන් තුළින් තමා කියවන සංස්කෘතිය දෙස බැලීම සහ එවුය විඳීමේ නිදහස මෙම කෘති රසවිඳීමෙන් ලැබිය හැකිය. මෙම නවකතා ත‍්‍රිත්වය පමණක් නොව මෙවැනි ආකාර වූ තවත් වැදගත් නවකතා කිහිපයක් තුළම උපසංස්කෘතියක් භාවිත කොට ඇත. සුනේත‍්‍රා රාජකරුණානායකගේ ‘‘කවි කඳුර’’ නම් නවකතාවේ මහනුවර පැරණි ගමක සංස්කෘතිය පිළිබඳවද, මංජුල වෙඩිවර්ධනගේ ‘‘බත්තලං ගුණ්ඩුව’’ නම් නව කතාව තුළ ධීවරයන්ගේ සංස්කෘතිය පිළිබඳවද නෝබට් අයගමගේ ‘‘කාල නදී ගලා බසී’’ නවකතාව තුළ පාරු සංස්කෘතිය පිළිබඳවද විච්ත‍්‍රවත් කතා සමූහයක් මගින් විරණය වී ඇත. යල් පැන ගිය තේමාවන් අනුගමනය කරනු වෙනුවට නූතන සිංහල නවකතාකරුවන් නව මානයන් උපයෝගී කර ගනිමින් නවකතා රචනා කිරීමට ගන්නා ලද උත්සහයට  නිදසුන් කිහිපයක් ලෙස ඒවා හැඳින්විය හැකිය. මෙලෙස නූතන නව කතාකරුවන් විසින් යම් උපසංස්කෘතියක් තම නව කතාවට පසුබිම් කර ගැනීම රසවත් හා හරවත් නවකතාවක් තුළින් පාඨක හදවත්ට ළංවීමට ගත් සාර්ථක ප‍්‍රයත්නයක් බව නිගමනය කළ හැකිය.